IMF නොයා අපේ විසඳුමක් බැරිද? – මහාචාර්ය සුමනසිරි ලියනගේ

විදේශ විනිමය අර්බුදය මේ වන විට තිබෙන්නේ උග්‍ර අතට හැරුණු තැනකය. ඒ සඳහා තෝරන විසඳුම් ගැන ආණ්ඩුවේ ද බෙදුණු මතයක් පෙනෙන්නට තිබේ. එහෙත් ආර්ථික පිළිවෙත සකසන්නන්ගේ පැත්තෙන් නම් කරන්නේ කුමක්දැයි පැහැදිලි චිත්‍රයක් අපට නොපෙනේ. නිදසුනකට ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.6කට ආසන්න අගයකට පහත වැටී ඇත. මේ ආණ්ඩුව බලයට එන විට එය තිබුණේ ඩොලර් බිලියන 8ක පමණ අගයකය. ඒ අනුව ගත වූ දෙවසර ඇතුළත එහි ශීඝ්‍ර පහත වැටීමක් අපට පෙනේ. 

කොවිඩ් වසංගතය නිසා ආනයන අපනයන ආදායම් අඩු වීම, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අඩු වීම, විදේශ ප්‍රේෂණ අඩු වීම ඊට මූලික වශයෙන් බලපා ඇත. එසේම වියදම් වැඩි වීම හා විදේශ විනිමය කළමනාකරණය සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ද ඊට බලපා ඇත. සැබැවින්ම වසර හතළිස් තුනක් තිස්සේ විවෘත ආර්ථිකයක් පැවැති ලංකාව වැනි රටකට මෙය ප්‍රශ්නයකි. අප පුරුදු වී සිටින්නේ ආනයන අපනයන මත රැඳුණු ආර්ථිකයකටය. එහි අරුත නම් එය බොහෝ සෙයින් ගැටගැසී ඇත්තේ ලෝක ආර්ථිකය මත බවය. එනිසාම මේ කුඩා සංචිතය අපේ ආනයන සඳහා ප්‍රමාණවත් වන්නේ අතිශය කෙටි කාලයකටය.

එසේ නම් අප විමසිය යුත්තේ මෙයට ගත හැකි විසඳුම කුමක් ද කියාය. ඇතැමුන් යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ගෙදර හදාගන්නා (Homegrown) සැලසුමක් මීට යොදාගත යුතු බවයි. අප දන්නා පරිදි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන ආර්ථික තීරණ ගන්නා ත්‍රිත්වය විශ්වාස කරන්නේ එම මගයි.

අයවැය විවාදයේ අවසන් කතාවේදී ලබන වසරේ ගෙවිය යුතු ණය මුළුමනින්ම ගෙවීමට තමා පොරොන්දු වන්නේ යැයි ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වේ එම විශ්වාසයෙනි. එහෙත් කිසිවකු හෝ මේ ගෙදර හදාගන්නා සැලසුම කුමක්දැයි ඇසුවොත් එය පැහැදිලි නැත. ලබන වසරේදී මෝටර් රථ ආනයනය නොකිරීමේ තීරණය මේ පිළිවෙත ගැන එක් සලකුණකි. රාජ්‍ය සේවයට අලුතින් බඳවා නොගැනීමේ තීරණයෙන් ලොකු විදේශ විනිමයක් ඉතිරි වන්නේ නැත. එය අපට ඉලක්කම් ඇසුරෙන් තේරුම්ගත හැකිය. 

ලබන වසරේදී ණය හා ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 4ක් පමණ අවශ්‍යය. කොපමණ ආනයන සීමා දැම්මත් අපේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10කි. දළ වශයෙන් මේ අනුව අපට ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 14ක් අවශ්‍ය වේ. ඩොලර් බිලියන 14ක් අපට ලැබෙන්නේ කෙසේ ද? පෙර කී හෝම්ග්‍රෝන් සැලසුමේ මේ ගැන සඳහන් විය යුතුය. නිදසුනකට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක ආදායමක් උපද්දවා ගන්නේ යැයි සිතමු.

එවිට තවත් ඩොලර් බිලියන 9ක් අවශ්‍යය. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් අත්කරගත්තේ යැයි සිතමු. එය මේ වසරේදී ඩොලර් බිලියන 3 දක්වා පහළ වැටිණි. එය ඩොලර් බිලියන තුනක මට්ටමේ හෝ තිබුණේ විදේශ රැකියාවලින් ඉවත් වී පැමිණෙන අය රැගෙන ආ මුදල් නිසාය. ඉතින් මේ විදේශ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තය නගාසිටුවීම යන උපකල්පනයේ සිටියොත් ඉලක්කම් අනුව මේ ප්‍රශ්නය විසඳාගත හැකි යැයි සිතිය හැකිය. 

මේ හෝම්ග්‍රෝන් සැලසුමට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි යෝජනා කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජයවර්ධන, මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරු සහ ඇඩ්වකාටා, වෙරිටේ, පාත්ෆයින්ඩර් වැනි සංවිධානය. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ලංකාවට ඩොලර් බිලියන 2.8ක් ලැබේ. ඒ කොටස් තුනකට හෝ හතරකටය. මේ ඩොලර් බිලියන 2.8 ලැබුණා යැයි කියා ලොකු දෙයක් වන්නේ නැත. එහෙත් ඔවුන් කියන පරිදි පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඉඩක් නිර්මාණය වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රදානය කිරීම සමග ණය ලබාගැනීමේ ශ්‍රේණියේ අප දැනට සිටින සී3 නමැති අන්තිම නරක තත්ත්වයෙන් ඉහළ තැනකට යන බව ඔවුහු කියති. 

එය ඇත්තය. ලෝක ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එසේය. එහෙත් මේ ශ්‍රේණිගත කිරීම් යථාර්ථයක් යැයි එයින් කියවෙන්නේ නැත. එය එසේ නම් ඇමෙරිකානු මූල්‍ය අරමුදලේදී ඉහළම ශ්‍රේණිවල සිටි සමාගම් කඩාවැටෙන්නට විදියක් නැත. එය වෙනම කතා කළ යුතු කරුණකි. 

කෙසේ වෙතත් මේ ආර්ථික විද්‍යාඥයන් කියන්නේ මෙසේ ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිය විට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමේ හැකියාව වර්ධනය වන බවයි. මේ යෝජනාවේ ඇති වැරැද්ද නම් ඔවුන් මේ ණය අර්බුදය විසඳන්නට යන්නේ තවත් ණය ගොනු කරගැනීම හරහා වීමය. සැබැවින්ම විදේශ විනිමය සංචිත ඉහළ තිබුණේ යැයි පැවැති ආණ්ඩු පම්පෝරි ගැසුවේ ද මේ ක්‍රමයට ගත් ණයවලිනි. 

ශක්තිමත් පදනමකින් ආර්ථිකය නගාසිටුවා ඒ හරහා විදේශ විනිමය වර්ධනය කිරීම වෙනුවට පැවැති සෑම ආණ්ඩුවක්ම කළේ මෙසේ ණය හරහා සංචිතය පිරවීමය. එය කවදා හෝ පුපුරා යා යුතු බුබුලකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේදී මම හොඳ දෙයක් ද දකිමි. ඒ, අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැත්තෙනි.

ලංකාවේ දේශපාලකයෝ යනු විනයගත කළ හැකි පිරිසක් නොවෙති. ඉතින් මූල්‍ය අරමුදලෙන් ණය දීමේදී පනවන එක් කොන්දේසියක් වන්නේ නාස්තිකාර වියදම් කප්පාදු කිරීමයි. එය යහපත් පෙළඹවීමකි. නිදසුනකට ආචාර්ය චරිත හේරත් පවසන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධයෙන් කරන විවේචනය දැක්විය හැකිය. කිසිදු දිනෙක ගුවන් ටිකට්පතක් දැක නැති මිනිස්සු පවා මේ ගුවන් සේවාව පවත්වාගෙන යෑම වෙනුවෙන් බදු ගෙවති. එහෙත් අවසන එය ක්‍රියාත්මක වන්නේ පාඩු පිට පාඩු ලබමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගතහොත් අනිවාර්යයෙන්ම මෙවැනි දේ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට සිදුවනු ඇත. එය හොඳ තත්ත්වයකි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ විගසම වෙනස් කළ බදු ප්‍රතිපත්තිය ආපසු හරවන්නට සිදුවනු ඇත. මට අනුව එයත් හොඳ දෙයකි. එමෙන්ම පොලී ප්‍රතිශත ද ඉහළ දමන්නට ඉඩ තිබේ. මෙවැනි කොන්දේසි ආර්ථිකයකට නරක නැත. 

ආර්ථිකයේ තීන්දු ගැනීමේ රටාව අනුව මා දකින එක් නිරීක්ෂණයක් වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර හා අජිත් නිවාඩ් කබ්රාල් යන තිදෙනාට අමතරව මිලින්ද මොරගොඩ මත ද රඳා පවතින බවයි. එනිසා යම්කිසි ආකාරයකින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යෑමට ද ඉඩක් තිබේ. මා කියන්නේ එයින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන බවයි. විදේශ විනිමය ප්‍රශ්නය සාකච්ඡාවට ගත්තත් මෙම ක්‍රමයේදී උත්තර ලැබෙන්නේ එහි මතුපිට තලයෙනි. එසේත් නැතිව පෙර කී ත්‍රිමූර්තිය යෝජනා කරන පරිදි ඉන්දියාවෙන් ඕමානයෙන්, බංගලිදේශයෙන්, චීනයෙන් මුදල් ටිකක් ඉල්ලාගෙන පැලැස්තර දැමීමය. එහෙත් මේ ආර්ථික විද්‍යාඥයෝ අපේ ආර්ථිකයේ මූලික පීලිපැනීම් ගැන කතා​ නොකරති.

1977න් පසු ලංකාවේ ආර්ථිකය විකාශනය වී ඇති ආකාරය විමසද්දී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ අපේ ඉපැයීම්වලට වඩා පරිභෝජනය ඉහළ යාමය. ලංකාවේ සිව් දෙනකුගෙන් යුතු පවුලක් සාමාන්‍යයෙන් මාසිකව රුපියල් 55,000.00ක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. 2022 දී මෙය රුපියල් හැටදහසක් යැයි උපකල්පනය කළහොත් වසරකට වැය වන මුදල රුපියල් හත්ලක්ෂ විසි දහසකි. මෙය ඩොලර්වලින් බැලුවොත් ලංකාවේ පවුලක වාර්ෂික පරිභෝජන මට්ටම ඩොලර් 3,600කි. ලංකාවේ පවතින පවුල් ලක්ෂ 60න් එය වැඩි කළ විට ආසන්න වශයෙන් ලංකාවේ වාර්ෂික පරිභෝජන මට්ටම බැලිය හැකිය. එය ඩොලර් බිලියන 20ක් යැයි උපකල්පනය කරමු.

එහෙත් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඇසුරෙන් මේ ගණන් හැදීම් කළ විට ලැබෙන්නේ වෙනත් පිළිතුරකි. ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80කි. එයින් ආයෝජන සඳහා සියයට 25ක් වැය වේ. එනම් ඩොලර් බිලියන 20කි. එහි අර්ථය නම් ඉතිරි ඩොලර් බිලියන 60 වැය වන්නේ පරිභෝජනයට බවය. එවිට ඉහත අප ගණන් හදා බැලූ විට පැමිණි පිළිතුර වූ ඩොලර් බිලියන 20 හා මේ සැබෑ පිළිතුර වූ ඩොලර් බිලියන 60 අතර ඇත්තේ විශාල පරතරයකි. මේ සා විශාල පරිභෝජනයක් කරන්නෝ කවරහු ද? සාමාන්‍ය මිනිස්සු නම් විය නොහැකිය. ඔවුහු නම් මේ සමාජයේ දේශපාලන හා ආර්ථික බලය ඇතුළුව වෙනත් ආකාරයේ බල ව්‍යුහ ගොනු කරගෙන ජීවත් වන්නෝය. අපේ රටේ ආර්ථික අර්බුදයේ පතුළේ ඇති එක් ප්‍රධාන කතාවක් වන්නේ මෙකී පිරිසේ අධිපරිභෝජනවාදී ජීවන විලාසයයි. 

මේ ආර්ථික කණ්ඩායම මුලදී යැපුණේ ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රදාන ආර්ථික මාදිලියෙනි. එනම්, කැනඩාව, ජපානය ආදී රටවලින් ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍යාධාරය. ලංකාවේ පිම්බුණු ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන විසින් සකස් කරනු ලැබුවේ ද මේ ප්‍රදාන ආර්ථික මාදිලියෙනි. 1980න් පසුව ක්‍රමානුකූලව අප ගමන් කළේ ප්‍රදාන ආර්ථිකයෙන් විතැන්ව ණය ආර්ථිකයටය. 

දැන් සිදුව තිබෙන්නේ ප්‍රදානවල අඩු වීමක් සමග ඒ ගමන යන්නට මුදල් මදි වීමය. මේ වැරැද්ද නිවැරැදි කිරීමට නම් ලංකාවේ ආර්ථිකය විදේශ මත නොරඳන පරිදි ශක්තිමත් කළ යුතුය. 

එය කිසියම් ආකාරයකට ජාතික ආර්ථික මාදිලියක් විය යුතුය. එසේ නැතිව නම් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ලොතරැයියක් ඇදීම වැනි අපූරු වැඩකිනි. නිදසුනකට වරාය නගරයට බලාපොරොත්තු වන ආයෝජන පැමිණීම දැක්විය හැකිය. එය එසේ වුවහොත් ඩොලර් බිලියන 25ක පමණ ආයෝජන පැමිණි යුතුය. හදිසියේවත් එයින් අඩක් ලැබුණොත් ආර්ථිකයට යම් සහනයක් ලැබිය හැකිය. නොඑසේව මේ ආර්ථික ගොඩගැනීමට නම් අප ණය නැවත නොගෙවිය යුතුය. නිශ්චිත කලක් යනතුරු නැවත නොගෙවන බවට ඒකපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික එකඟතාවලට පැමිණිය යුතුය. මන්දයත් 2025 පමණ වනතුරු සෑම වසරකදීම ඩොලර් බිලියන හතර හමාරක් පමණ ණය ගෙවීමට අපට අවශ්‍යය. එවැනි මුදලක් ගෙවීමට නම් අපේ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් ඉහළ ගොස් ආනයන අපනයන පරතරය අඩු කරගත යුතුය. 

නිශ්චිත ප්‍රතිපත්ති මත පදනම් වූ ජාතික ආර්ථිකයකින් මිස මේ තත්ත්වයට විසඳුම් ඇතැයි මම සිතන්නේ නැත. එහෙත් ආණ්ඩුකරණය සිදුවන ආකාරය අනුව නම් එවැනි වටහා ගැනීමක පාලකයන් සිටින බව පෙනෙන්නේ ද නැත. ඊට හොඳම නිදසුන වන්නේ මෝටර් රථ ආනයනය වසරකට නැවතූ ආණ්ඩුව අධිවේගී මාර්ග සම්බන්ධයෙන් එවැනි නැවතීමක් පෙන්නුම් නොකිරීමය. රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අධිවේගී මාර්ගවලට විශාල මුදලක් යට කිරීම කෙතරම් තාර්කික ද යනු මූලික ප්‍රශ්නයකි. අප වෙළෙඳ ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු යැයි මුදල් ඇමැතිවරයාම කියයි. එහෙත් ඔහු කියන ඒ ගමන යෑම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති 2022 අයවැය ලේඛනයේ හෝ ආණ්ඩුවේ වැඩපිළිවෙළින් පෙන්නුම් කරන්නේ නැත.