චීනය කොන්දේසි කඩ කළ නිසා සල්ලි දෙන්න ඕන්නෑ! ඒත් කැබිනට් එක කියන නිසා දෙනවා – කෘෂිකර්ම ලේකම්

චීනයේ ෂින්ඩාඕ බයෝටෙක් සමාගම ලබා දුන් පොහොර ප්‍රමිතියෙන් තොර නිසා ඒකට මුදල් ගෙවන්න ඕනෑ නැහැලු.

එහෙම මුදල් ගෙවීමට ‘හැකියාවක් නොමැති’ බව ගැන ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී අංජුල මහීක වීරරත්න කරපු විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ කියා තියෙනවා.

කොහොම වුණත් පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නට ආණ්ඩුව තීන්දු කිරීමෙන් පස්සේ, ‘රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට හානියක් නොවන පරිදි’ මුදල් ගෙවන්න කටයුතු කරන බව ඔහු කියලා.

එසේ වුණත් මෙසේ මුදල් ගෙවීමෙන් ශ්‍රී ලංකා රජය කියන්නේ අපේ රටේ ආයතනවල පර්යේෂණ වාර්තා කැබිනට් මණ්ඩලය පිළි නොගන්නා බව. ඒ වෙනුවට චීන කම්පැණියත්, චීන තානාපති කාර්යාලයත්, ආණ්ඩුවත් කියන දේවල් පිළිඅරන් හිස පාත් කරගෙන පරාජය බාර ගන්න බව. ආත්මාභිමානයක් තියෙන රටක් නම් තමන්ගේ වාර්තා මත පදනම් වෙමින් රාජ්‍යතන්ත්‍රික වශයෙන් සාකච්ඡා කරලා මුදල් නොගෙවා ඉන්න තිබුණා.

දෙසැම්බර් 13 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමයි ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න තීන්දු කරලා තිබුණේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා තිබුණේ මේ නැව ආපහු චීනයට ගෙන යෑමට එකඟ වූ බව.

ඒ වගේම මේ නැවට සල්ලි ගෙවන්න ගත්ත තීන්දුව ආණ්ඩුව ගත්ත දේශපාලන තීන්දුවක් වුණත්, ඒ බව වහන් කරමින් ‘නීතිපතිවරයා සමතයට පත් කරන්න උපදෙස් දුන්න’ බවක් තමයි කැබිනට් මණ්ඩලය සල්ලි ගෙවන්නට හේතුව විදියට කීවේ. අධිකරණ අමාත්‍ය සහ කෘෂිකර්ම අමාත්‍ය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා මත තමයි සල්ලි ගෙවීමේ තීන්දුව අරන් තිබුණේ.