කවි ලියූ වරදට සිරගත කොට සිටි අහනෆ්ට මාස 19 කට පසු ඇප

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ රඳවා සිටි  අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය දෙසැම්බර් 15 වන දින නියෝග කර ඇත.

රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත අහනෆ්වට ලබා දී තිබුණු අතර ඇප කොන්දේසි ලෙස ඔහුට සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කිරීමටත් නියෝග කර ඇත.

ඔහුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර  තමන්ට  විදේශ ගමන් බලපත්‍රයක් නැති බව අහනෆ් අධිකරණයට දැනුම් දී ඇති අතර  ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය වෙත දැනුම් දෙන ලෙස විනිසුරුවරිය නියෝගයක් නිකුත් කර ඇත.

තවද අහනෆ් ජසීම්ගේ  ජාතික හැඳුනුම්පත් අංකයට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්දැයි සොයා බලන ලෙසත්, එලෙස නිකුත් කර නැතිනම් මෙම කාලය ඇතුළත නැවත නිකුත් නොකරන ලෙසත් ආගමන විගමන පාලකට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් විනිසුරුවරිය නියෝගයක් නිකුත් කර ඇත.

2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් අහ්නෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව ඔහුව වසරක කාලයක් රැඳවුම් භාරයේ තබා සිට පළමු වතාවට  2021 මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සේව් ද පර්ල් රාජ්‍ය නොවන සංවිධානයට  අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී අහනෆ් ජසීම් ලියූ  ‘නවරසම්’ කවි පොත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණි.  අදාල  කවි පොතෙන්  අන්තවාදය පතුරුවන බව කියමින් අහනෆ්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ අදාල  පොතෙහි ඇති කවි  සිංහල භාෂාවෙන් පරිවර්තනය කර අන්තර් ජාලය මුදා හැර තිබුණු අතර එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. 

පසුගිය සතියෙහි අහනෆ් වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අතර අහන‌ෆ්ට ඇප ලබාදීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව  එහිදී දැනුම් දී තිබුණි. 

 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයීසීසීපීර් පනත යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට මෙන්ම අහනෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.