සමලිංගික සේවනයේ යෙදීම වරදක් ද? – නීතීඥ සාරංග වාදසිංහ

ලෝකයේ බොහෝ දියුණු නූතනවාදී රටවල සමලිංගික ක්‍රියාකාරකම් නීතියෙන් තහනම් කොට නැත.ඇතැම් රටවල සමලිංගික විවාහ නීතිගත කරන මට්ටමට නීතිය සැකසී ඇත.නමුත් ලංකාවේ නීතිය මීට බොහෝ වෙනස් වන අතර සමලිංගිකයන් අතර ලිංගික සබදතා අපරාධමය වරදක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ නීති තත්වය එලෙසම ඉදිරියටත් පවත්වාගෙන යන සෙයක් පෙනේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය මගින් සමලිංගික සබදතා තහනම් කොට ඇත.”තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා” ලෙස දක්වා ඇති එම වගන්තියේ සදහන් වන්නේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමග දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත් කරන අයෙක් වරදක් සිදු කරන බවයි.මෙහි කුට්ටනය ලෙස සැලකෙන්නේ ගණිකා සේවයේ යෙදවීම වේ.මෙම වරදට වසර දෙකක් දක්වා සිරදඩුවම් ලබා දිය හැකි බව දක්වා ඇත.යම්හෙයකින් මෙම වරද වයස 18 ට වැඩි පුද්ගලයෙකු විසින් වයස 16 ට අඩු පුද්ගලයෙකුට කරනු ලබයි නම් අවුරුදු 10 සිට අවුරුදු 20 දක්වා සිරදඩුවම් ලබා දීමට හැක.

ඉහත කී චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු හෝ එයට භාජනය වූ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පළමුව අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට වාර්තාක් ලබා ගැනීම සාමාන්‍ය කාර්‍යපටිපාටිය වේ.වෛද්‍යවරයා විසින් අදාල තැනැත්තන් පරික්ෂා කිරීමෙන් අනතුරුව යම් ලිංගික ක්‍රියාවක් සිදු කොට ඇද්ද යන්න වාර්තාක් සකසා අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.මෙම පරික්ෂාවෙදී අදාල ලිංගික ක්‍රියාවේ වින්දිතයාට යම් ආකාරයක මානසික හානියක් හෝ මානසික පීඩාවක් සිදු වී ඇති බවට වෛද්‍යවරයාට හැඟී යන අවස්ථාවක ඔහුව විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම සදහා නිර්දේශ කරනු ලබයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ද සමාජ රෝග වාර්ථාවක් කැඳවීම සම්බන්ධව ඉල්ලීම් කරනු පෙනෙන්නට ඇත.මෙවැනි ඉල්ලීමකට ඉඩ ලබා දීම සම්බන්ධව ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) නොමැත.එසේම 1889 අංක 05 දරණ ගණිකාවාස ආඥාපනතේ (Brothels Ordinance ) හෝ 1841 අංක 04 දරණ අයාල ආඥාපනතේ (Vagrants Ordinance ) ද මෙවැනි ප්‍රතිපාදනයක් නොමැත.එ සදහා උපයෝගි කරගනු ලබන්නේ 1897 අංක 03 දරණ රෝග නිරරෝධායනය හා නිවාරණය කිරීමේ ආඥාපනත(Quarantine and Prevention of Deseases Ordinance ) යි.මේ පනතේ සදහන් කාර්‍යපටිපාටිය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වරදකට මෙලෙස යොදා ගැනීම පිළිබඳ යම් යම් විවේචන නීති ක්ෂේත්‍රයේ නැතුවා ද නොවේ.

මෙම සමාජ රෝග වාර්තාවට අමතරව සැකකරුවන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් කැඳවීමට හෝ සැකකරුවන්ට මනෝ වෛද්‍ය සායනයකට සහභාගි වීමට නියෝග කිරීමට අධිකරණයට බලය තිබේ ද යන්නත් සොයා බැලිය යුතුය.”සමලිංගිකත්වය යනු මානසික රෝගයක්” වන බවට දුර්මතයක් වර්ථමානයේ අප රට තුළ පැතිරෙමින් පවතී.මෙයට එක් හේතුවක් වන්නේ මනෝවෛද්‍ය ක්ෂේත්‍රයේ යෙදී සිටින යම් යම් පුද්ගලයන්ගේ වැරදි විග්‍රහයන් ය.මෙම දුරමතයේ ගොදුරක් බවට පොලිස් දෙපාර්තමේන්තුව ද පත් වී ඇති බව පෙන්වන එක් අවස්ථාවක් ලෙස මෙවැනි ඉල්ලීම් අධිකරණයෙන් කිරීම පෙන්වා දිය හැකිය.එවැනි ඉල්ලීම්වලට ඉඩ ලබා දෙන අවස්ථා පිළිබඳ අසන්නට ලැබුනත් පවතින නීති තත්වයන් යටතේ යම් සැකකරුවකු මනෝ වෛද්‍ය සායනයකට යොමු කරලීමට නියෝග ලබා දීමට මහේස්ත්‍රත්වරයෙකුට බලය පවරන ප්‍රකාශිත ප්‍රතිපාදනයක් ලංකා නීතිය තුළ නොමැත.එසේම සැකකරුවකු මනෝ වෛද්‍ය  සායනයකට යොමු කිරීමක් නඩු විභාගය අවසාන වී සැකකරු වරදකරුවෙකු වූ අවස්ථාවක වුවද කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැත.එවැනි තත්වයකක් තුළ නිර්දෝෂිභාවයේ පූර්වනිගමනයේ රැකවරණය හිමි පුද්ගලයෙකු යම් වරදක් සිදු කර ඇත්තේ යම් මානසික රෝගී තත්වයක් මත යැයි නිගමනය කොට එයට ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අපරාධ නීතියේ මූලිකම නෛතික සිද්ධාන්තය උල්ලංඝනය කිරීමක් බව ඉතා පැහැදිලි වේ.

සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවට1973 දී ඇමෙරිකානු විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයත් 1992 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික රෝග වර්ගීකරණය යටතේත් ප්‍රකාශයට පත් කරන ලදි.ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තියේ “අස්වාභාවික වැරදි” සම්බන්ධව සදහන් කරන අතර එමගින් සමලිංගික ක්‍රියාකාරකම් තහනම් වන ආකාරයේ ප්‍රතිපාදන ඇතුලත් කොට ඇත.විශේෂයෙන් ගුද සංසර්ගය (Carnal Intercourse ) ප්‍රකාශිතවම වරදක් බව දක්වා ඇත.මෙම වගන්තියේ ව්‍යවස්ථනුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද Navatej Singh Johar and Others V Union of India (AIR 2018 SC 4321) නඩුවේදී දීපක් මිස්‍රා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරන ලද්දේ සමලිංගිකත්වය රෝගයක් නොවන බවයි.මෙම තීන්දුවට එළැඹීමේදී ඔවුන් ඉන්දියානු විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගේ සංගමයේ මතය ද සලකා බලන ලදි.මෙම නඩුව ඉතා සුවිශේෂී එකක් වන්නේ ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ව්‍යස්ථානුකූල නොවන බවට තීරණය කිරීම හරහා සමලිංගිකත්වයට යම් නිත්‍යනුකූලත්වයක් හිමි වීමයි.ලෝක පරිමාණව සමලිංගිකත්වය රෝගයක් නොවන බව පිළිගෙන තිබියදීත් ලංකාව ඊට වෙනස්ව සිතීම ඉතා කණගාටුදායක තත්වයකි.

සමලිංගික සේවනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දු පරිශීලනයේදී පෙනී යන කරුණක් වන්නේ එහි නූතන භාවිතාව යම් තාක් දුරට ප්‍රගතිශීලී මට්ටමක පවතින බවයි.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2016.11.30 දින තීරණය කරන ලද G.P.S.Wimalasiri V AG (SC Appeal 32/11) නඩුවේදී එංගලන්තයේ පුරුෂයන් අතර ලිංගික ක්‍රියා තහනම් කරනු ලැබූ “ලිංගික වැරදි පනත” පිළිබඳව සාකච්ඡා කොට ඇත.ලංකාවේ මෙම නිති තත්වය ඇති කරනු ලැබුවේ ද ඉංග්‍රීසි යටත්විජිත සමයේදී ය.එම පනත එංගලන්තය 2004 දී ඉවත් කිරීම සදහා  අන්‍යොන්‍ය කැමැත්ත මත වැඩිහිටියන් අතර සිදු වන ලිංගික ක්‍රියා තහනම් නොකළ යුතු බවට වසරව ගණනාවක් තිස්සේ වරධනය වූ මතවාදය ද හේතු වන්නට ඇති බව ද මෙම තීන්දුවේ දක්වා ඇත.මෙම නඩුවේ විත්තිකාර අභියාචකට වසරක සිරදඩුවම් ලබා දී තුබූ අතර ඔහුට පෙර වැරදි නොමැති වීමත් අපරාධමය ඉතිහාසයත් නොමැතිවීමත් සලකා බලා අත්හිටවු සිරදඩුවම් ලබා දෙන ලදි.මෙම ප්‍රවේශය “සමලිංගිකත්වය ” පිළිබඳ මෙතෙක් පැවති මතයෙන් යම් තාක් දුරකට ඉවත්වීමක් බව අපට පෙනී යයි.

මානව අයිතිවාසිකම් සම්බන්ධව ඉතා උනන්දු සහ උද්‍යෝගයෙන් කටයුතු කරන යුගයක ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දුයුණු රටවලට තවමත් සියවස් ගණනාවක් පිටුපසිනි.අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවලට විශේෂයෙන් LGBTIQA+ (Lesbian ,Gay,Bisexual ,Transgender,Intersex,Queer,Asexual) අයිතිවාසිකම් පිළිබඳවත් ඇත්තේ ඉතා හොඳ උනන්දුවකි.ලිංගික හැඩගැස්ම (Sexual Orientation ) හා ස්ත්‍රීපුරුෂ අනන්‍යතාව (Gender Identity) මත පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලෝක මානව හිමිකම් සංවිධානවල ස්ථාවරය වී ඇති හෙයින් ශ්‍රී ලංකාවේ නීතියද වෙනස් විය යුතුව ඇති බව අවසාන වශයෙන් කිව යුතුය.

ශ්‍රී ලංකාවේ නීතිය – Law Of Sri Lanka Facebook පිටුවෙන්