දැන් පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදවාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, නැද්ද කියන එක පිළිබඳ දෙසැම්බර් 13 වැනිදා හැන්දෑවේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් නොසිටි පසුබිමක ඇමතිවරුන් අතර මතභේද කතාබහ කොට කැබිනට් මණ්ඩලය තීන්දුවක් නැතිවම විසිර ගිහින්.
ඒ අතරේ IMF ගියොත් ඉල්ලා අස්වෙන බව පවා ඇමතිවරයෙක් කියලා. කෙසේ වෙතත් රටේ නායකයා මේ තීරණාත්මක මොහොතේ රට දාලා යද්දී, තීන්දුවක් ගන්නේ කොහොමද?
ලබන මාසය වෙද්දී ණය වාරික ගෙවීමටත් නොහැකිව, ඩොලර් නොමැති පසුබිමක ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක ඉන්නවා. එවැනි පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, නැද්ද යන කාරණාව පිළිබඳ නිශ්චිත තීන්දුවක් දෙසැම්බර් 13 වැනිදා කැබිනට් මණ්ඩලයේදී ගැනීමට එකඟ වී තිබුණා.
මේ තත්වය ගැන පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල දෙසැම්බර් 13 කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයට එකතු වීමටත් නියමිතව තිබුණා.
එහෙත් ඒ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘පෞද්ගලික’ සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගමන් කර තිබුණා. ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් සහ එස්.ආර්. ආටිගල දෙපළ කැබිනට් රැස්වීමට සහභාගී වුණේත් නෑ. කැබිනට් හමුව අරලියගහ මන්දිරයේ පැවැත්වුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන්.
අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීම ගැන මතභේදයක් ඇතිව තිබුණා. මේ වෙද්දී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව ඉන්නේ අයිඑම්එෆ් නොයා යුතුය යන දැඩි මතයේ. 13 වැනිදා එක්තරා ඇමතිවරයෙකු කියා තිබුණේ ‘අයඑම්එෆ් යන ආණ්ඩුවක තමන් ඉන්නේ නැති’ බව.
ඒත්, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ ඇමතිවරුන් කියන්නේ මේ මොහොතේ අයිඑම්එෆ් යා යුතු බව.
තීරණාත්මක කාරණාවක් වී තිබුණේ අයිඑම්එෆ් නොයා යුතුය කියන පාර්ශ්වය ඒ වෙනුවට මේ වෙද්දී පවතින ඩොලර් අර්බුදය විසඳාගැනීමට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් නොකිරීම.
පුදුමයකට මෙන් උදය ගම්න්පිළ ඇතුළු ඇමතිවරුන් පිරිසක්ම මේ ගැන දෙපැත්තටම බර වූ අදහස් ඉදිරිපත් කළ බව අපි එක්ක කැබිනට් ඇමතිවරයෙක් කීවා. බොරතෙල් ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් අවශ්‍ය බව හොඳින්ම දන්නා අමාත්‍ය උදය ගම්මන්පිළ මධ්‍යස්ථ මතයක සිටීම පුදුමයක් නෙවෙයි.
ආර්ථික තත්වය ගැන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැහැදිලි කිරීමක් කර තිබුණා. ඉදිරියේදී ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවෙනු ඇති බව.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක විතර මූල්‍ය හුවමාරු ගිවිසුමක් හෙවත් කරන්සි ස්වාප් එකක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියා තිබුණා. ඊට අමතරව විදේශ රටවලින් ඩොලර් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කරුණු දක්වා තිබුණා. චීනය හා ජපානය එක්ක මේ වෙද්දී සාකච්ඡා කරමින් ඉන්න බව ඔහු වැඩිදුරටත් කියා තිබුණා.
කෙසේ වෙතත් ඒ මුදල් ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා ආනයන ආදී කටුයුතුවලට.
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය වාරික වෙනුවෙන් වැය වෙන මුදල කොහෙන් හෝ සොයා ගැනීමට සිදු වෙනවා.
කෙසේ වෙතත් අයිඑම්එෆ් නොගියොත් ඉදිරියේදී තව තවත් ආනයන සීමා කරන්නට සිදු වනු ඇති බව ඔහු පෙන්වා දී තිබුණා. ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙනවා කියලා ඔහු කියා තිබුණා.