දියර පොහොර කෑන් පුපුරන්නේ ඇයි ? – මහාචාර්ය බුද්ධි මාරඹේ 

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යන්නේ එම පොහොර නිසි ආකාරයෙන්, නිසි ප්‍රමිතීන්ට යටත්ව නිෂ්පාදනය නොකිරීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා. ඇත්තේ දෙසැම්බර් 13 වන දින මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

“නිසි ආකාරයෙන්, නිසි ප්‍රමිතීන්ට අනුව මේ කාබනික දියර පොහොර නිෂ්පාදන කළා නම් මෙවැනි තත්වයකට පත්වීමට කිසිසේත්ම ඉඩකඩක් නෑ. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය, විශේෂයෙන්ම නිර්වායු තත්වයක් යටතේ තියෙනකොට ඉතා වේගයෙන් සිද්ධවෙලා ඉවර වෙලා, එයින් නොයෙකුත් වායූන් නිපදවන්නට පෙළඹෙනවා. ප්ලාස්ටික් ඇසුරුම් තුළට ඒ නිෂ්පාදනය වෙන වායූන් හින්දා ඇතිවෙන පීඩනය දරාගන්නට බැරිවෙලා තමයි මෙවැනි අනර්ථකාරි තත්වයකට එය පත්වෙලා තියෙන්නෙ. 

එහි වරද, නිෂ්පාදකයා නිසි ප්‍රමිතියෙන් යුතුව එය නිෂ්පාදනය කරලා නැති හින්දා. රජය මෙම තීරණය ගන්නටත් වසරකට පෙර සිටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලංකාවට උචිත වන අයුරින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමේලා ප්‍රමිතියක් පනවලා තියෙනවා. මේ තුළ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නිසි අයුරින් කාබනික පොහොරක් නිෂ්පාදනය කරලා වෙළඳපොලට ඉදිරිපත් කිරීමේදී ඒ තුළ තිබිය යුතු ගුණාත්මක ස්වභාවය. රටේ පවතින ප්‍රමිතියට අනුව මේ නිෂ්පාදනය ගොවීන් වෙත ලබාදීම තමයි ඔවුන් සතු යුතුකම. ඒ වගේම ජාතික පොහොර ලේකම් කාර්යාලයටත් කිසි ආකාරයෙන් මෙයින් කර ඇරීමක් කරන්න බෑ. මොකද ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන තමයි කාබනික දියර පොහොර ගොවීන්ට ලබාදෙන්නෙ. 

ගොවි මහත්ම මහත්මීන්ට මම එක දෙයක් කියන්න ඕනෙ. සාමාන්‍යයෙන් මෙවැනි දියර පොහොර පාවිච්චි කිරීමේදී අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්නට ඕනෙ. විශේෂයෙන් මෙවනි දෙයක් පාවිච්චි කිරීමේදී අවම වශයෙන් අත්වැසුමක් පාවිච්චි කරන්න”