අශෝක හඳගමගේ ඇල්බොරාදා බැලුවට පස්සෙ ඒ ගැන කෙටි සටහන් කීපයක් ලියන අතරෙ, මේ සටහන ලියන්නෙ පෝලිම් පැනල. පස්වෙනි සටහන විදියට ලියන්න හිටපු ඔහුගෙ සිනමාවෙ දෘෂ්ටිවාදී පෙරළිය තුන්වෙනි සටහන විදියට පෝලිමේ ඉස්සරහට ගන්නව; උපන්දින සුබපැතුමක් විදියට.
හඳගමගෙ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුණාට ඔහු වේදිකාව හා ටෙලිනාට්‍ය ඇසුරෙහි විවිධ අත්හදාබැලීම් ගණනාවක් කරල තියනව. සිනමාව ගත්තත් මුල් අවධියේ ඉතාම අරගලකාරී, මාක්ස්වාදී නැඹුරුවකින් විචාරය කළ හැකි නිර්මාණ තමයි දකින්න තිබුණෙ. ඒත් ඔහුගේ මෑත යුගයෙ ප්‍රකාශනයේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇස ගැටෙනව.
යම් ආකාරයකින් මේ වෙනස්කම අපිට එක් භාෂාවක සිට අනෙක් භාෂාවට සංක්‍රමණය වීමේ ලක්ෂණ උපුටා දක්වමින් විග්‍රහ කරන්න පුළුවන්. ඒ කිව්වෙ හඳගමියානු සිනමාව මාක්ස්වාදී භාෂාවේ සිට ලැකානියානු භාෂාවට සංක්‍රමණය වෙමින් පවතින බව.
මේ ලක්ෂණය පසු බැසීමක් හෝ අගතියට පත්වීමක් කියල හඳුන්වන්න මං අකමැතියි. ට්‍රොට්ස්කිවාදීන් ඇතුළු සම්භාව්‍ය මාක්ස්වාදීන් නම් හඳගමියානු සිනමාවෙ මේ ලක්ෂණය දැඩිව විවේචනයට කරනව. අපේ කාලයේ කොන්දේසි විරහිත සිනමා විචාරකයෙක් වන භූපති නලින් එයට අනුප්‍රාණ එක්කොට තිබුණා. හඳගමගේ කලාවේ මේ වෙනස අරභයා කළ තියුණු ම සහ ප්‍රහාරාත්මක ම විවේචනය එල්ල කළේ භූපති බවයි මගේ අදහස.
භූපති ‘හඳගම: විශ්‍රාමික කැඩපත’ මැයෙන් රාවයට ලියූ ලිපියේ “අපට දැන් හමුවන හඳගම යනු මුල් කාලීන වාස්තවික අධෝ ව්‍යුහයක නටඹුන් වරින්වර ප්‍රක්ෂේපනය වන මියගිය කැඩපතකි” කියල ලිව්ව. එතනින් නොනැවතුණු ඔහු දැන් අපට හමුවන්නේ “සොම්බි හඳගම” කෙනෙක් කිව්ව. මේ විවේචනය හඳගමගේ මහබැංකු සහකාර අධ්‍යක්ෂ ධූරයේ සිට (දැන් විශ්‍රාමිකයි) වරක් දීප්ති ලියූ ඔහුගෙ Audi A4 රථය දක්වා දිවෙනව. තව දුරටත් කියනව නම් සයිටම් විරෝධයට විරෝධය පාමින් ඔහු ලියූ ‘කිමෙද විප්ලවයකින් ඇති සරණය – නැතහොත් පොදුවේ බෙදා රමණය’ ලිපිය දක්වාත්, පෝලිම් පැන වැක්සීන් එක ගහගැනීම දක්වාත් දිවෙනව.
හඳගම නමැති කලාකරුවා විවේචනය කිරීම හෝ ඔහුගේ කලාවේ හැරවුම් තේරුම් ගැනීම සඳහා මේ දේවල් වැදගත් බවට සැකයක් නෑ. එහෙත් මේවා මතින් ඔහුගේ කලාවේ ඉම ලකුණු කළ නොහැකියි; කලාව කලාකරුවාගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රක්ෂේපණයක් පමණක් නොවන නිසා.
පැබ්ලෝ නෙරූදාගේ ජීවිතාන්දරයේ කොටසකුයි ‘ඇල්බොරාදා’ සඳහා පදනම් වෙලා තියෙන්නෙ. නිර්මාණකරුවා මෙතෙක් ආ ගමනෙදි සමකාලීන සමාජය කලාවෙහි නිරූපණය කරන්න දරපු උත්සහාය මේ ප්‍රස්තුතය නිසා තවත් ඈතට යන බව ඇතැම් තැන්වල කියවෙනව. කලාව අරභයා එවැනි දේ කිව නොහැකි වුවත්, හඳගම අරභයා මෙවැන්නක් කීම අසාධාරණ නැහැ. ඔහු ලාංකීය සිනමාවෙ වඩාත් දේශපාලනික ම සිනමාකරුව නිසා.
‘ඇල්බොරාදා’ ගැන සටහනක් ලියමින් චූලානන්ද සමරනායකත් හඳගමට ආරාධනය කරල තිබුණ.
“ලංකාවෙ කලාව ඇතුලෙ අපි දිගින් දිගටම අසාර්ථක වෙච්ච තැනක් තියෙනවා. ඒ තමයි අපේ වර්තමාන ඛේදචාචකය ප්‍රතිනිර්මාණය කිරීම. අපි කරන හැම නිර්මාණයකටම වඩා ඛේදවාචකය තියෙන්නෙ ගවු ගානක් ඉස්සරහින්. හඳය ඒ ගැනත් ඉස්සරහදි කල්පනා කරනකම් අපි බලාගෙන ඉන්නවා.”
-චූලානන්ද සමරනායක –
භූපති ප්‍රහාරාත්මක ලෙස කියපු දේ චූලානන්ද මෙතනදි හෘදයාංගමව කියල. භූපති ඇල්බොරාදා ගැන තාම ලියල නැති නිසා ඒ ගැන සංසන්දනයකට යන්න බැහැ. හඳගමට දෙන්න ම එකම කතාවක් ස්වර දෙකකින් කියල කියන එක තමයි දැනට කියන්න තියෙන්නෙ.
හඳගමගෙ මුල් සිනමා කෘතිවල රාජ්‍යයට හා ක්‍රමයට දැඩි විවේචනයක් එල්ල කෙරුණා. මෑත දශක කීපයේ ලංකා සමාජයේ ප්‍රබල භූමිකා දෙකක් නියෝජනය කළ භික්ෂුව සහ හමුදා නිලධාරියා හඳගමියානු සිනමාවෙ බරපතල ලෙස විවේචනය වුණා. ‘ඉනිඅවන්’ වෙත එද්දි හමුදා පුළුටක් නැති යාපනයක් අපිට හම්බෙනව (මේ ගැන විස්තරයක් කලින් ලිපියෙ තියනව). ආයෙත් ‘ඇගේ ඇස අග’ දි පන්සලේ විප්ලවය අපිට මුණ ගැහෙනව. ‘ආදරය ගැන දෙබසක්’ කෙටි චිත්‍රපටය අස්සෙ ක්‍රමය දෙස විවේචනාත්මකව බැලූ හඳගම නැවත මුණ ගැහෙනව.
ප්‍රකාශනවාදී මුහුණුවරක් එක්ක ඇදෙන මේ විප්ලවීය මිනිසාගේ සිනමාව තුන්වන සුසමාදර්ශයේ සිට තවත් ඉදිරියට තල්ලුවෙලාද කියන එක විමසිය යුතුයි. භූපති පෙන්නපු විදියට එය අපගමනයක් ද විය හැකියි. කෙසේ වෙතත් හඳගම සිනමාව නතර කරනකල් තීන්දු දෙන්න කාටවත් බෑ.
ඇතැම් ට්‍රොට්ස්කිවාදීන් කියන හඳගමියානු සිනමාවෙ යථාර්ථවාදී නොවන අපභ්‍රංශ ආර ගැන විවේචනයට පිළිතුරක් විදියට දිගටම පැවතුණු ඔහුගෙ ‘රූපරාමුවල තියන ප්‍රකාශනවාදී වෘත්තාන්තකරණය’ (යෙදුම එරික්ගෙ) ගැන පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යයි. එය මාක්ස්වාදී භාෂාවේදීටත් වඩා, ලැකානියානු භාෂාවේදී වැඩි වැඩියෙන් මතුවන බව අනුමාන කළ හැකියි.
එරික් ඉලයප්ආරච්චි හඳගම ගැන කරන මේ පැහැදිලි කිරීම බලන්න
“සිනමාවේ සත්‍ය (Truth in Cinema ) පිළිබඳ කාරණයේදී එම සත්‍යයේ වගකීම සිය චරිත හා අවස්ථාවන්ට භාර නොදෙන හඳගම එය ස්ව-සන්තකයේ තබාගෙන අනන්‍යතා දේශපාලනය හා මනෝවිශ්ලේෂණය සමඟ ගිවිසුම්ගත කරයි.”
(ඉලයප්ආරච්චි, අශෝක හඳගමට විවෘත ලිපියක්; කලාකරුවා සහ විචාරකයා ව්‍යසනයක් නොවීමට නම්)
අවසාන වශයෙන් කිව යුත්තේ, හඳගම පළමු අර්ධයේ පොළොව හෙළිකළ තරම් සෘජුව හා නිර්දයව මේ අර්ධයේ පොළොව හෙළි නොකරන බවයි. පොළොව හෙළිකරනු වෙනුවට ඔහු දැන් ආත්මය වෙත හැරිල. ‘චන්ද කින්නරී’ හා ‘මේ මගේ සඳයි’ බැලූ ප්‍රේක්ෂකයාට පවුල්වල කතා බලන්න සිද්ධ වුණා. ඊට පස්සෙ ගෑනියෙක්ගෙ ඔළුවෙ මැවුණු ප්‍රබන්ධයක්. දැන් යටත් විජිත යුගයේ මෙරට සේවය කළ මිනිසෙකුගේ කතාවක්. ‘ඇගේ ඇස අග’, ‘අසන්ධිමිත්තා’, ‘ඇල්බොරාදා’… ආදරය සහ ගැහැනුන්ගේ ආත්ම…!?
මේ යුගයේ ආදරයට වෙලා තියෙන දේ ගැන දීප්ති (දීප්ති කුමාර ගුණරත්න) පහුගිය ටිකේ ලියල තිබුණ.
ලක්මාල් ධර්මරත්න ‘ඇල්බොරාදා’ බලල ලියල තිබුණු දෙයින් මාව රත්වෙලා ගියා.
“…චිත්‍රපටිය බලන ඕනෑම පිරිමියෙකුට ආඩම්බරයටත්, බයටත් පත්වෙන්න පුලුවන් ලක්ෂයක් හම්බවෙනව…ආඩම්බරය තමයි මහා ප්‍රේමණීය කවි පැබ්ලෝ නෙරූදා ඇතුලේ තමන් ඉන්නවා එයාට පේන්න ගන්න එක…” ලක්මාල් ධර්මරත්න
මං හිතන්නෙ ‘ඇල්බොරාදා’ පත්තු වෙනකල් මේ ගැන මීට වඩා කියන්න ඕනෙ නෑ. මට නම් Alborada නෙරූදගෙ කතාව විතරක් නෙවේ, මේ මොහොතේ මගෙ ජීවිතේ ඇතුළෙ ආදරේ වැඩ කරන විදිය ගැන චිත්‍රපටයක්….!