කබ්රාල්ගේ පාහර වැඩ දිගටම, පිටකොටුවේ ඩොලර් මාකට් වටලනවාලු!

ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇති තොරතුරු මත මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් පිටකොටුවේ සහ වෙනත් ස්ථානවල පිහිටි විදේශ මුදල් හුවමාරු කරන ආයතනවල විදේශ මුදල් හුවමාරු කටයුතු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තියෙනවා.

ඒ අනුව කොළඹ පිටකොටුවේ තියෙන මුදල් මාරු කරන ස්ථානවලට මහ බැංකුවේ නිලධාරීන් කඩා වැදිලා ‘පරීක්ෂණ’ කරනවාලු. විදේශ විනිමය පනත යටතේ නිකුත් කරපු විධානයන්ට අනුකූල නොවන විදියට වැඩ කරන තැන් හොයනවාලු.

ඒකෙන් අදහස් වෙන්නේ වත්මන් වැඩ බැරි ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ගේ ඩොලර්වලින් කප්පම් ගහන්න දාපු නීති මාලාවට අනුගත නොවන තැන් හොයනවා කියලයි.

මේ වෙද්දී ආණ්ඩුව කරමින් ඉන්න නින්දිතම වැඩක් තමයි විදේශගත ශ්‍රමිකයන්ට කරන මේ පාහර වැඩේ. ඔවුන් දැන් කියන්නේ මේ ආයතනවලින් සල්ලි එවන්නේ ‘ජාවාරම්’ කරන අය කියලයි.

මේ වෙද්දී ඩොලර් හොයන්න දන්නේ නැතිව, වැඩ බාර අරන් කරගන්න දෙයක් බැරිව ඉන්න අජිත් නිවාඩ් කබ්රාල්ලා දුප්පත් මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු සල්ලිවලට වටිනාකම නොදී, ඩොලරයට නොවටිනා අගයක් දීලා, එළියේ වෙනත් වටිනාකමකට සල්ලි මාරු කරන අයව වටලන්න උත්සාහ කරලා.

මේ වෙද්දී ඔවුන් ඒ වෙනුවෙන් ‘නීතිවිරෝධී ක්‍රමවලින්’ හෙවත් උණ්ඩියල් ආදී ක්‍රමවලින් ඩොලර් එවන අයගේ ගිණුම් අහෝසි කිරීම, එයාලා කියන බොරු මිල වෙනුවට ඇත්ත මිලට ඩොලර් මාරු කරන මිනිස්සුන්ව වැටලීම ආදී පියවර ගණනාවක් අරන් තියෙනවා.

දැනට ඒ විදියට සල්ලි එවපු අයගේ ගිණුම් 20ක් විතර අහෝසි කරලා තියෙන බවත් වාර්තා වෙනවා.

මේ විදියට ඩොලර් මාරු කරන අය අල්ලන වැඩේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් එකතු වෙලා ඉන්නවාලු.