IMF යනවද නැද්ද තීන්දුව සඳුදා කැබිනට්ටුවේදීලු!

දැන් තියෙන ආර්ථික අර්බුදයට මුහුණදීමට අමාරු නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියන කාරණය ගැන දෙසැම්බර් 13 වැනිදා පවත්වන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආපහු සලකා බලන්න නියමිතයිලු.

මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම සහ නොයෑම ගැන ආණ්ඩුවේ දැඩි මත දෙකක් තියෙනවා.

ඒත් දැඩි මතවල දැඩිකම දැන් දියවෙන්න නියමිතයි. ඒ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වැටිලා තියෙන හින්දා. මේ ප්‍රමාණය ලංකාව මාසයකටත් අඩු කාලයක් භාණ්ඩ ගෙන්වාගැනීමට වැය වෙන මුදල.

ඔතැන රත්තරන් ඩොලර් මිලියන 400ක් තියෙන හින්දා වියදම් කරන්න පුළුවන් ඩොලර් බිලියන 1.1යි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කරපු කතාවේදීත් දැඩි ලෙස ඉඟි කරලා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලයි.

ඒත්, ප්‍රායෝගිකව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගය නොලබා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යෑම අසීරු බව පෙනෙන්නට තියෙනවා.

මේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රධාන උත්සාහයන් කිහිපයක් තියෙනවා. සමහර ඒවා කෙටි කාලීනයි. තවත් ඒවා දීර්ඝ කාලීනයි.

  1. විදේශගත ශ්‍රමිකයන්ට තර්ජනය කොට බිය ගන්නවා, ඔවුන්ගේ සල්ලි බැංකු හරහා ගෙන්වාගෙන ඒ සල්ලිවලට කප්පම් ගැසීමෙන් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයට මසකට ඩොලර් මිලියන 600 ඉක්මවා තබා ගැනීම සහ ලංකාවේ ඉන්න එපා වෙලා රට යන අය හරහා එන්න නියමිත ඩොලර් ටිකෙන් වාසි ලැබීම.
  2. කොළඹ ප්‍රධාන ඉඩම් ඇතුළු ඉඩම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණා දමා ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් ඉපැයීම.
  3. ඉන්දියාව සහ මුස්ලිම් රටවල් ඇතුළු විදේශ සම්බන්ධතා පාවිච්චි කරලා ද්වි පාර්ශ්වීය ණය ලබා ගැනීම.
  4. බොන කිරි පිටි ටිකේ ඉඳන් වාහනය දක්වා අපේ මිනිසුන්ගේ පරිභෝජන අදහස්වලට කෙළවලා, මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ නොගෙන්වා ඩොලර් ඉතිරි කර ගැනීම.
  5. ස්වෙච්ඡාවෙන් එන්නත් ගන්න අකමැති අයට එන්නත් කාඩ් අනිවාර්ය කරනවා කියා නීති දමා බලෙන් හෝ එන්නත් ලබා දී සංචාරක කර්මාන්තය යලි පණ ගැන්වීම.
  6. කොළඹ පෝට් සිටියට විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.
  7. සුළං, විදුලි, ගෑස් ආදී බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර සඳහා විදේශ සමාගම් ලංකාවට ගෙන්වා ගැනීම.
  8. විදේශ ණය වාරික කල් දමා ගැනීම.
  9. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අක්කර සිය දහස් ගණන් ඉඩම් (සමහරවිට රක්ෂිත) කුණු කොල්ලෙට හෝ නිකම් ලබා දී විවිධ බෝග වර්ග වගා කරන්නටත්, කිරි ගවයන් ගෙන්වන්නටත් සැලසුම් සකස් කිරීම.

කෙසේ වෙතත් මේ කියන උත්සාහයන් සියල්ල එකවර සාර්ථක වේවි කියා හිතන්නත් අමාරුයි. එවැනි පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය ලබාගෙන, පුරවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරන අතරේම ආර්ථිකය යළි ගොඩගත යුතු බව ආණ්ඩුවේම ඇතැම් අය කියනවා. විශේෂයෙන් ඔවුන්ගේ මතය මේ විදියට මිනිසුන් පීඩාවට පත් කරමින් ආර්ථිකය පවත්වාගෙන ගියොත් ඉදිරියේදී දේශපාලනිකව ආණ්ඩුව දුර්වල වේවි කියලයි.

ඊට අමතරව දැන් තියෙන ආර්ථික අර්බුදය ගැන පැහැදිලි කරන්න මහ බැංකු අධිපති හෙවත් වැඩබැරි ටාසන් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට ටෙනිසන් කුරේ මහතාගේ අඩුව පුරවන අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා එනවාලු. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් එනවාලු. කොහොමත් ජනාධිපති කාර්යාලයේ පී.බී. ජයසුන්දර ඉන්න නිසා තුන්දෙනාට එකතු වෙලා ත්‍රී ඉඩියට්ස් ෆිල්ම් එක ෂූට් කරන්නත් බැරි කමක් නෑ.

ඔය කට්ටිය ඇවිත් ඩොලර් අර්බුදය පැහැදිලි කරද්දී කැබිනට් එකේ ඉන්න අයගේ රියැක්ෂන් බලා ඉන්නත් ආසයි. නිමල් සිරිපාල ද සිල්වා ගොරවන සද්දය කබ්රාල්ලා කතා කරද්දී පසුබිම් සංගීතයක් වෙයි.  

ජොන්ස්ටන් ප්‍රනාන්දු එකදිගට ඇමෙරිකාවෙන් ඩොලර් ප්‍රින්ට් කරන මැෂිමක් ඕඩර් කරන්න බැරි ඇයිද කියලා අහද්දී එස්ආර් ආටිගල මහතා දත්මිටි කන සද්දෙ බේස් ඩ්‍රම් එක වගේ වෙයි.

අනෙක් පැත්තෙන් රෝහිත අබේගුණවර්ධන මහත්තයා අයිඑම්එෆ් එකෙන් එන ඩොලර් නැව පාක් කරන්න වරායේ ඉඩකඩ හොයන්න පටන් ගනීවි. අර අත්‍යවශ්‍ය බඩු ගෙනල්ලා වරායේ හිරවෙලා තියෙනවා කියන නැව් 1500 එහෙට මෙහෙට කරන්න උත්සාහ කරයි.

මහින්ද රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු අයට ඔතැනට කෙළින් ඉන්න සෞඛ්‍ය තත්වය තිබුණොත් එයාලාගේ ප්‍රතිචාර අනුමාන කරන්න පුළුවන්. 

නෑ, ඇත්තටම. ඔය කැබිනට් මණ්ඩලයට මේ ආර්ථික අර්බුදය පැහැදිලි කරලා වැඩක් තියේවිද. ඇත්තටම ඔය පැහැදිලි කරනවා කියන අයත් ඇත්තටම මේ අර්බුදය දැකලා විසඳන්න සමත් අයද.

ඉතින් ලංකාවේ ආර්ථික අර්බුදයේ ඇත්තම ප්‍රශ්නය මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න සාමාජිකයන් සහ එයාලාට උපදෙස් දුන්න කේවට්ටයන් බවත්, විසඳුම ඒ සියලුදෙනා ඉල්ලා අස් වී රට කරන්න පුළුවන් පිරිසකට බාර දීම බවත් තේරුම් කරන්න පුළුවන් කවුරුහරි කැබිනට් රැස්වීමක් පැත්තට යවන්න බැරිද?