මෛත්‍රීගේ අලුත් බලවේගයක් හදන්න ඕනෑලු! ඒත් ආණ්ඩුවට සහයෝගයත් දෙනවාලු!

ලංකාවේ දේශපාලනය කරන අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන අය එකතු කරගෙන අලුත් පුළුල් ශක්තිමත් බලවේගයක් හදන්න ඕනෑ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවාලු.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබුණ රණවිරු සම්මාන උළෙලක් ඉවරවෙලා මාධ්‍යවලට අදහස් දක්වමින් තමයි ඔහු උක්ත කතාව කියා තිබුණේ.

ඒත්, ඒ කතාවේදීම ඔහු කියලා දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බවත් ඒ වෙනුවෙන් ශ්‍රීලනිපය රජයට සපෝට් කරනවා කියලාත්.

යකෝ! එකක් කියන්න මහත්තයෝ. මේ ආණ්ඩුවේ ඉඳන් රටට ආදරය කරන අය එක්ක අලුත් බලවේගයක් හදන්න පුළුවන්ද?

කොහොමහරි මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ ඒ බලවේගය ඇතුළෙන් රටේ අනාගත අභිවෘත්තිය සඳහා කටයුතු කරන්න ඕනෑ බව.

දැන් රටේ තියෙන ආර්ථික අර්බුදය, පොහොර, ගෑස් සහ බඩු මිල ආදී සියලු ගැටලු ගැන කිසිවෙක් ඇඟ බේරා ගන්නේ නැතිව එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර වගකීම් ඉටු කරන්න ඕනෑ බවත් ඔහු කීවාලු. ගොවියන්ට පොහොර නැතිව දුක් විඳින බවත්, මිනිස්සු ගෑස් පිපිරීමෙන් අවදානමේ ඉන්න බවත් ඔහු වැඩිදුරටත් කියලා.

මේ වෙද්දී ශ්‍රීලනිපය ඇතුළේ තියෙන සංවාදයක් තමයි එළියට බහිනවා නම්, ඔක්කොම එකතු කරගෙන බහින්න ඕනෑ බව.

ඒ කියන්නේ විමල් පිළ ඇතුළු සියලු පාර්ශ්ව. ඔවුන් ගණන් හදලා කියනවා ඒ ඔක්කොම අයින් වුණොත් ආණ්ඩුවට තුනෙන් දෙක තියා සරල බහුතරයත් නැති වෙන බව. මොකද, මේ ආණ්ඩුව ඇතුළේ ඇත්තම පොහොට්ටුව කියා ඉන්නේ අනූ ගාණක්. ඒ අය අතරිනුත් ශ්‍රී ලංකා එකේ මෑතක් වෙනතුරුම ඉඳලා පොහොට්ටුවට ගිහ ඩිලාන්, එස්බී, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා ආදී බොහෝ අයව ආණ්ඩුව ඈත් කරලා තියාගෙන ඉන්නේ.

ඉතින්, ආණ්ඩුවට බහුතරයත් නැති වෙන විදියට කට්ටිය එළියට ගන්න පුළුවන් වේවි කියලා ශ්‍රීලනිපය පැත්තෙන් හිතනවාලු. ඒකට සැලසුම් හදනවාලු.

ඒත්, ප්‍රායෝගිකව ඒක ලෙහෙසි නැහැ. ඔය පක්ෂ ආණ්ඩුවෙන් එළියට යද්දී, ඒ පක්ෂවලම සාමාජිකයන් පොලු තියලා ආයෙත් පස්සෙ දොරෙන් ආණ්ඩුවට සෙට් වේවි. ඉස්සර හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ගියාම දවසෙන් දෙකෙන් උදය ගම්මන්පිළ ආයෙමත් ආණ්ඩුවට සෙට් වුණා වගේ.

කොහොම නමුත් සැලසුම තමයි ආණ්ඩුවට 113ත් නැති වෙන විදියට කට්ටිය එළියට බහින එක.