පොහොර නැව ගියාට ප්‍රශ්නය ඉවර නෑ, ලංකාවට සිංගප්පූරුවේ සමථ නඩු දානවාලු

ශ්‍රී ලංකාවෙන් පිට වූ චීන පොහොර නැව ඉදිරියේදි සිංගප්පූරුවට ගමන් කරන බවත්, එයින් පසු සිදුවීමට අදාලව, චීනයේ ෂිංඩාඕ සීවින් බයෝටෙක් සමාගම සිංගප්පූරුවේ ජාත්‍යන්තර සමථ විනිශ්චයාධිකරණයක නඩු පැවරීමට බලාපොරොත්තු වන බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් ආයතනය අඟහරුවාදා වාර්තා කරලා තියෙනවා.

මේ සිද්ධිය සෙල්ලමක් නෙවෙයි. හුදෙක් පොහොරවලට අදාල කතාවකුත් නෙවෙයි. මේක මින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළඳාමට ඉතාම තීරණාත්මක විදියට බලපානු ඇති.

මේ වෙද්දීත් ඒ අධිකරණමය ක්‍රියාවලිය සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. මීට කලින් එම සමාගම නිව්ස්ෆ්‍රස්ට් ආයතනයටත් ඒ බව කියා තිබුණා.

එයාලාගේ පදනම තමයි ‘ශ්‍රී ලංකාව’ මේ ප්‍රශ්නය විසඳන්නට අවංක උනන්දුවක් නොදැක්වූ බව. මෙම පොහොරවල පිරිසිදුභාවය පිළිබඳ ‘අපැහැදිලි චෝදනා’ එල්ල කරපු බව. ‘තුන්වැනි පාර්ශ්වයකින්’ මේවා පරීක්ෂා කළාට පස්සේත්, ඒ වාර්තා පිළිගත්තේ නැති බව.

ශ්‍රී ලංකාවේදී කළ පර්යේෂණවලදී කීවේ මෙම පොහොර තොගයේ අර්විනියා නම් බැක්ටීරියාව තියෙන බව. ඒත්, ඒ සමාගම චීනයේම ආයතනවලට සහ ස්විට්සර්ලන්තයේ සමාගමක් හරහා පරීක්ෂා කරවාගෙන ‘අර්විනියා’ නැති බව කියන්නට උත්සාහ කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන ‘ගැලවුම්කාරයා’ ලෙස සැලකූ චීනය එම සමාගම සහ ශ්‍රී ලංකාව අර ප්‍රශ්නය බේරුම් කරන්නට කිසිසේත් මැදිහත් නොවූ, චීන තානාපති කාර්යාලය කොහොමහරි පොහොර නැව ලංකාවේ ඇඟේ ගහන්නට උත්සාහ කළ පසුබිමක ඩොලර් මිලියන 49.7ක ගනුදෙනුව ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේ බේරාගන්නට සිදු වනු ඇති.  

ඇත්තටම චීන සමාගම, චීන රජයේත් සහයෝගය ඇතිව මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව පරාජය බාර ගන්නා තුරුම ගෙල සිර කරන්නට බලාපොරොත්තු වන බව පේනවා. ඒ කියන්නේ මේ කුණු ගොඩ කොහොමහරි ශ්‍රී ලංකාවට ගන්නතුරු.

ඔවුන්ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලධර්ම ශ්‍රී ලංකාව කඩ කරපු බව. ඇත්තටම මෙතැන මූලිකම ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයම තකහනියක් තීන්දු කරලා, දැවැන්ත ඕඩරයක් බාර දුන්නාටත් පස්සේ, ඒවා එහෙන් පිටත් වෙන අස්සේ ඒකේ සාම්පල් චෙක් කිරීම.

සාම්පල් චෙක් කිරීමේදී ගිවිසුම් අනුව සඳහන් වෙලා තිබුණේ ශ්‍රී ලංකාව එකඟ වන ජාත්‍යන්තර තුන්වැනි පාර්ශ්වයකින් පරීක්ෂා කරන්න ඕනෑ බව. ඒත්, ජර්මනියේදී කරපු ඒ පර්යේෂණ ක්‍රියාවලිය ‘අර්විනියා’ බැක්ටීරියාව හඳුනාගන්න පුළුවන් විදියේ ක්‍රියාවලියක් නෙවෙයි.

ඒ අනුව ඒකෙදී හානිකර ජීවීන් නැති බව සඳහන් වාර්තාවක් ලැබුණා. බඩු පිටත්වුණා.

ඒත්, ජර්මනියේදී නොකරපු පර්යේෂණයක් ශ්‍රී ලංකාවේදී සිදු කිරීමෙන් පස්සේ තමයි සාම්පල්වල අර්විනියා බැක්ටීරියාව දැක්කේ.

දැන් චීන කම්පැණිය තර්ක කරන්නේ ජර්මන් පරීක්ෂණයේදී අර්විනියා නොතිබුණා නම්, ලංකාවේ පර්යේෂණයේදී ඒක අහු වුණේ කොහොමද කියලයි.

ඒත් මේ ගැන විශේෂඥවරුන් පෙන්වා දී තිබුණා ජර්මනියේ පර්යේෂණයේදී හෙව්වේ වෙන එකක් බවත්, ලංකාවේ පර්යේෂණයේදී හෙව්වේ තව එකක් බවත්.

මේක මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කැබිනට් මණ්ඩලයේම වරදක්. ලෙහෙසි පහසු වරදකුත් නොවෙයි. ඩොලර් මිලියන ගණනක වරදක් වගේම, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන තරමේ වරදක්.

මීට අමතරව චීන කම්පැණිය තර්ක කරන්නේ මහජන බැංකුව මේ වෙද්දී එල්සී එකක් නිකුත් කරලා ඉවර බවත්, ඒකට අදාලව ගෙවීම් කරන්න ඕනෑ බවත්. ඒත් ඔවුන් හංගන්නේ මහජන බැංකුව වගඋත්තරකරුවන් කරමින් මේ සිදුවීමට අදාලව ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුත්තක් සිදුවෙන බව.

සරලව චීන කම්පැණිය කියන්නේ ලංකාවේ අධිකරණයට අපහාස කරන්න කියාද? දැනටමත් ඔවුන් ලංකාවේ විද්‍යාගාර වැඩක් නැති බව තර්ක කරලා තියෙනවා. ඊට අමතරව අධිකරණයත් නොතකා හැරලා, චීන තානාපති කාර්යාලය හරහා චීන කම්පැණියක් කියන විදියට නටන්න කියලාද ඔවුන් අහන්නේ?

මේක ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඉතාම මුග්ධ තීන්දුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇත්තටම චීන සමාගමත් යම් දුරකට ඒ වැඩේ නිසා අමාරුවේ වැටුණ බව ඇත්තක් විය හැකියි.