පාකිස්ථාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශය බලන්නේත් නැතිව, ලංකාවේ මහජන ආරක්ෂක ඇමති සරත් ඒක ඉල්ලා අස් කරගන්න කියයි! 

පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා කළා යැයි ‘සමාජ මාධ්‍යවල ප්‍රකාශයක්’ හුවමාරු වෙන බවත්, ඒක ‘ඇත්තද දන්නැ’ති බවත්, ඒක ‘ඇත්ත නම්’ හෙළා දකින බවත් අපේ රටේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මාධ්‍යවේදීන් ඉදිරියේ කියලා.

ඇමති කෙනෙකුගේ වගකීම් සහගත භාවය තඹේකට නොතකමින්, ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන් දැක්කේවත් නැති ප්‍රකාශයකට.

ඇත්තටම පාකිස්ථාන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ මෙවැනි ක්‍රියා තරුණයන් ආවේගශීලීව සිදු කරන ඒවා බවත්, එසේ වූ පමණින් එවැනි ක්‍රියා රජය අනුමත නොකරන බවත්. මාධ්‍යවලින් මෙවැනි තරුණයන්ට අවබෝධය ලැබෙන විදියට වාර්තා පළ කළ යුතු බවත් ඒ ඇමතිවරයා කියා තිබුණා.

ඒත්, ෆේස්බුක් සහ වෙබ් අඩවි කිහිපයක් වගකීම් විරහිතව ඒ ප්‍රකාශයේ ‘එයාලා ළමයි, ඒ වයසට ඔය වගේ දේවල් වෙනවා’ යන කොටස විතරක් උපුටා දක්වමින් පළ කරලා තිබුණා. කෙසේ වෙතත් ඒ ප්‍රකාශයේදීම ඇමතිවරයා කියනවා, තරුණයන්ට අවබෝධය ලැබෙන විදියට කටයුතු කිරීම මාධ්‍යවලත් වගකීමක් බව.

පාකිස්ථාන ඇමතිවරයාගේ ප්‍රකාශය කරන ස්වරය, ඒ හැඩය අනුමත කරන්න බැහැ. එහෙත්, ඔහු හුදෙක් ප්‍රියන්ත කුමාර ඝාතනය ‘තරුණයන්ගේ වැඩ’ විදියට සාධාරණීකරණය කළා නෙවෙයි.

සරත් වීරසේකර වගේ ඇමතිවරුනුත් සම්පූර්ණ කතාව නොදැක කතාවෙන් කෑල්ලකට විතරක් ප්‍රතිචාර දක්වන පසුබිමක කී දහසක් මේ වගේ නොසැලකිලිමත්ව අපේ අය දාන හෙඩිම් බලලා කලබල වෙලා ඇතිද කියන එක එවැනි ප්‍රවෘත්තිවල කමෙන්ට් දැකපු ගමන් තේරුම් ගන්න පුළුවන්.

ජාත්‍යන්තර ප්‍රශ්නයකට අදාලව ප්‍රකාශයක් කරද්දී ඇමතිවරයෙක්ට තිබිය යුතු වගකීම් සහගත බව සරත් වීරසේකර ඇමතිවරයා අහලාත් නැතිව ඇති.

සරත් වීරසේකර ඇමතිවරයා කියා තිබුණේ මෙහෙමයි.

‘අපි දැඩි ලෙස හෙළා දකිනවා. ඒක ජනාධිපතිතුමාත් කළා. එකම සහනය තමයි ඉම්රාන් ඛාන් නායකතුමා දැඩි ලෙස හෙළා දැකලා ලැජ්ජාව සහ ක්‍රෝධය විදහා දක්වලා පියවර ගන්නවා.

මේක අවසාන තත්වයක්. සහරානුත් කළේ ඒකයි. මුස්ලිම් නොවන අයව ඝාතනය කරනවා.

අපේ මුස්ලිම් නායකයෝ මේක දැඩි ලෙස හෙළා දැකලා තියෙනවා. එහෙම කරලා විතරක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් කියන්න ඕනෑ මේ දේවල් ආගම්වල දේශනා කරලා නැහැ කියලා.

මාවනැල්ල බුදුපිළිම කැඩුවේ පොත්පත්වල තියෙනවා කියලා.

මුස්ලිම් ආගමට නිගරු කරන අය ඝාතනය කරනකොට අපායේ යන්නේ කියලා පැහැදිලිව කියන්න ඕනෑ. එහෙම නොකියන තාක් කල් ඉදිරියටත් මෙහෙම වෙයි.

අද සමාජ ජාලාවල සැරිසරනවා පාකිස්ථානයේ ආරක්ෂක ඇමති කීවා කියලා මේක සාමාන්‍ය දෙයක්. හැඟීම්බරව කරන එක ගැන සාමාන්‍ය විදියට සලකනවා කියලා. ඒක ඇත්තද දන්නෑ.

ලංකාවාසීන්ගෙන්ම සමාව ගන්න ඕනෑ. දැඩි ලෙස ප්‍රකාශය වහා ඉල්ලා අස් කර ගන්න ඒක ඇත්ත නම්.

ඒ සම්බන්ධයෙනුත් විමසිල්ලෙන් ඉන්නවා මහජන ආරක්ෂක ඇමති හැටියට.’