‘පොඩි ලසී’ ගැන තීරණය පොලිස්පතිගෙන් විමසා දන්වනවා -නීතිපති

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලසී ” නමැත්තාගේ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කවරේද යන්න පිළිබඳ පොලිස්පතිවරයාගෙන් විමසා අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දෙසැම්බර් 07  වන දින දන්වා ඇත.

පොඩි ලසීගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහු සහ ඔහුගේ බිරිය ඒ. දිල්හානි තනූජා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දී ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය මෝසමක් මඟින් කළ ඉල්ලීමක් අනුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවා ඇත.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසා ඇත්තේ බන්ධනා ගාර ගත කර සිටි අපරාධකරුවන් කරන ප්‍රකාශ අනුව ඔවුන් කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයන්ට අදාළව ආයුධ පෙන්වීම සඳහා රැගෙන යෑමට සිදු වන බවත් එම අවස්ථාවලදී ඔවුන්ගේ හැසිරීම අනුව පොලිසියේ ක්‍රියා කලාපය තීරණය වන බවත් පොලිසිය බාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර ඇති බව සඳහන් කර ඇත.

 පොලීසිය බාර ඇමැතිවරයා එබඳු ප්‍රකාශයක් කිරීම පෙත්සම් කරුගේ ජීවිතයට තර්ජනයක් බවත් ලබන දෙසැම්බර් මස 15 වැනිදා සිය සේවා දායකයාගේ රැඳවුම් නියෝග අවසන් වන බවත් ඉන් පසුව ඔහු පෑලියගොඩ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට බාර දීමේ සූදානමක් ඇති බවත් ප්‍රකාශ කර තිබුණි.

ඉන් අනතුරුව තම සේවාදායකයාව  පොලිස් භාරයේ සිටියදී ඔහු මරා දැමීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය. නීතිඥ සහාය ලබා ගැනීමට ඔහුට අවසර දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එමිල් රන්ජන් ළමාහේවා ප්‍රතික්ෂේප කර ඇතැයිද ජනාධිපති නීතීඥවරයා සඳහන් කර ඇත.

 මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ‍ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ පොඩි ලසී ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පොලිස්පතිවරයා පසු ගිය මැයි මාසයේදී අධිකරණයට පොරොන්දුවක් දී ඇති බවත් එම පොරොන්දුව මෙතෙක් කඩ කර නැති බවත් පවසා තිබුණි.

රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳ පොලිස්පතිවරයාගෙන් විමසා දෙසැම්බර් මස 13 වැනිදා දැනුම් දෙන බව ඒ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

ඒ අනුව අදාල  පෙත්සම සම්බන්ධයෙන් වැඩි දුර කරුණු සලකා බැලීම එදින සිදු කිරීමට නියම කර ඇත. 

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.