නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමෙරිකානු සමාගමට කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සීයට 40ක කොටස් ලබා දීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පක්ෂව, ඒ කියන්නේ ගිවිසුමට විරුද්ධව වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ හා විමල් වීරවංශ ඇමතිවරුන් විරෝධතා ගොනු කරලා.
මේකේ ලස්සනම කෑල්ල තමයි උක්ත මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් විදියට කැබිනට් මණ්ඩලයත් ඉන්නවා. එතකොට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් තුන්දෙනෙක් හෙවත් වගඋත්තරකරුවන් තුන්දෙනෙක්ම පෙත්සමට පක්ෂව ඉදිරිපත් වීම අපූරු තත්වයක්.
ඒ කියන්නේ ‘අපට විරුද්ධව තියෙන චෝදනා හරි’ කියලා වගඋත්තරකරුවන් අතරින් තුන්දෙනෙක්ම අධිකරණයේ කරුණු ගොනු කරන තත්වයක් මේ.
ඒ කියන්නේ දැනට විභාග වෙන නඩුවට මැදිහත් වෙලා, ගිවිසුමට විරුද්ධව කරුණු දක්වන්න අවසර ඉල්ලලා.
මේ පෙත්සම දාලා තියෙන්නේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජන බලවේගය, වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක්.
නීතිඥ නිලන්ති විජේසිංහ ගොනු කරපු විරෝධතාව පිටු 58කින් යුක්තයිලු.
ඒකේදී මේ ගිවිසුම ගැන තීරණාත්මක කරුණු ඉදිරිපත් වෙනවා.
‘පසුගිය 06 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර ඒ පිළිබද කරුණු සම්මත කිරීමක්ද සිදු නොවිණි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ යැයි යන කතාව සම්පූර්ණ අසත්‍යයකි.
මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබියදී , ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි වේ.
මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමකි.මෙම සමාගමට ගෑස් කළමනාකරණය පිළිබද කිසිදු ඉතිහාසයක් නොමැත.එබැවින් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය බාර දීමේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.’