‘සමලිංගිකත්වය නීතිගතයි?LGBTQ+ ප්‍රජාව නීතිය ඉදිරියේ පිළිගනිමින් නඩුවක් අහන්න ලෑස්තියි

ශ්‍රී ලංකා පොලීසිය සංවිධානය කළ දේශනවලදී මෙරට එල්ජීබීටීකියුප්ලස් ප්‍රජාවට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම නිසා ඊට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය ගොනු කළ පෙත්සම ඉදිරියට ගෙනියන්න අභියාචනාධිකරණය අවසර ලබා දීලා.

එහෙම කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ එම ප්‍රජාව නිත්‍යානුකූලව පිළිගැනීමක් සිදු වෙනවා. මෙය ඒ ප්‍රජාව ඓතිහාසිකව ලැබූ ජයග්‍රහණයක්. ඉදිරියේදීත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාවක් විදියට අධිකරණයට යන්නට මේක මූලාරම්භයක්.

එල්ජීබීටීකිව්ප්ලස් ප්‍රජාව හෙවත් සිංහලෙන් කීවොත් සමකාමී-සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ගැන ඉතාම පහත් ගෝත්‍රික විශ්වාසයන් පෙරදැරි කරගෙන දේශන පවත්වන අමා දිසානායක නම් කාන්තාව ‘උපදේශිකාවක්’ විදියට සලකමින් උපදේශන ලබාගැනීම තමයි පොලීසිය කරලා තිබුණේ.

මේ කියන දේශන ගැන කුමනාකාරයේ තීන්දුවක් ලැබුණත්, සමකාමී-සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට අධිකරණයට ඉදිරියට යන්න පුළුවන්, ඒ අයගේ නඩු අධිකරණය බාරගන්නවා කියන පණිවිඩයම විශාල ජයක්.

මේ නඩුවට නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම්, රධිකා ගුණරත්න සහ තෙනූ රංඛේත් පෙත්සම්කරුවන් ලෙස මැදිහත් වෙලා.

මේ නඩුව ආපහු ජනවාරි 27 වැනිදා කැඳවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පොලීස් නිලධාරීන් සංක්‍රාන්ති ලිංගිකයන්, සමකාමින් ඇතුළු එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට ඉතාම දරුණු සහ පහත් විදියට සලකන බව මීට කලිනුත් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් ඇතැම් අයට පහරදීම් ගැනත්, පොලීසියේදී අපහසුතාවට පත් කිරීම් ගැනත්, අසාධාරණ විදියට සිරගත කිරීම් ගැනත් වාර්තාවෙලා තියෙනවා.

ඒකට පදනම් වෙන්නේ නූතන සමාජය ඉතාම සාමාන්‍ය, පෞද්ගලික කාරණයක් විදියට පිළි ගන්නා ලිංගික අනන්‍යතාව සහ නිදහස ගැන කාරණා ගැන කිසි අවබෝධයක් පොලිස් නිලධාරීන් තුළ නැති වීම. එයාලා දන්න ටික, ගෝත්‍රික අදහස් එක්ක මිනිස්සුන්ට නරක විදියට සලකන එකයි සිද්ධ වෙන්නේ.

විශේෂයෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ ඉන්න සමකාමී, සංක්‍රාන්ති ලිංගික අයට පන්ති බලය නිසා ආරක්ෂාවක් තිබුණත්, අහිංසක දුප්පත් අය නිතර හිංසාවට ලක් වෙනවා.

එවැනි පසුබිමක පොලීසියේ පටු, ගෝත්‍රික අදහස් නැති කරලා, මේ අලුත් ලෝකය ගැන අවබෝධයක් දෙන එක තමයි හරි නම් සිද්ධ වෙන්න ඕනෑ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලිංගික නිදහස ගැන කියා දෙන දේශන තමයි සිද්ධ වෙන්න ඕනෑ.

ඒත්, ඒ වෙනුවට අර මිනිසුන්ගේ ගෝත්‍රික අදහස් තවත් තීව්‍ර කරන අමා දිසානායක වැනි කාන්තාවන් තමයි මේ පොලීසිය දේශනවලට කැඳවන්නේ.

අන්න ඒ නිසා මේ පෙත්සම ඉදිරියට ගෙනයෑමට අවසර ලැබීම  පවා අයිතිවාසිකම් පැත්තෙන්  විශාල ජයග්‍රහණයක්.