වීරසේකරගේ හිතවතා වෙනුවෙන් එස්ටීඑෆ් සෙට් එකක් ඉඩමක් අල්ලන්න ගිය චෝදනාවට පොලීසියෙන් උත්තර දීලා! හිතවතා සීඅයිඩී ගිහින්

ඇමති සරත් වීරසේකරගේ ආන්දෝලනාත්මක සම්බන්ධීකරණ ලේකම්වරයා එස්ටීඑෆ් නිලධාරීන් පිරිසකුත් පාවිච්චි කරමින් දිවුලපිටි‍යේ ඉඩමක් අල්ලන්න උත්සාහ කරපු කතාව ප්‍රතික්ෂේප කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණ ආයතනයට ලියුමක් යවලා.

ඒ වගේම ඔය සම්බන්ධීකරණ ලේකම්වරයා සීඅයිඩීයට ගිහින් පැමිණිල්ලකුත් දාලා. දැන් අලුත් රැල්ලනේ සීඅයිඩී යන එක.

ලංකාවේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආයතනවල ලොක්කන් හැම වෙලාවේම උත්සාහ කරන්නේ තමන් කරන හැමදේම නිවැරදියි. අනෙක් මිනිස්සු ඒවා ගැන කියන දේවල් වැරදියි කියලා පෙන්වන්න. ඒක තහවුරු කරන තව සිද්ධියක් තමයි මේ.

පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් මුලතිව් පැත්තේ රත්තරන් හාරන්න ගිය සිදුවීමත්, ඒ පුද්ගලයා ඊට කලින් දිවුලපිටියේ උල්වල්පොල ඉඩමකට හොර ඔප්පු හැදූ කෙනෙකුත් එක්ක එස්ටීඑෆ් පාවිච්චි කරමින් ඉඩම අල්ලන්න උත්සාහ කළ බවට චෝදනාවකුත් අපි ගිය සතියේ වාර්තා කළා.

මේකේ හැටියට පහුගිය ජුනි මාසයේ මුලින්ම ඒ නිලධාරියායි, ඉඩමේ අයිතිකාරයා කියපු කෙනෙකුයි ඉඩම මනින්න උත්සාහ කරලා. ඒත්, ඒකට ඉඩමේ දැන් පදිංචි අයිතිකාරයන් විරුද්ධ වෙලා. ඊට පස්සේ ඒ ගැන පැමිණිල්ලකුත් කරලා.

ඒ ඔක්කොගෙන්ම පස්සේ නොවැම්බර් විසි ගණන්වල එස්ටීඑෆ් නිලධාරීන් පිරිසක් ගෙදරට ඇවිල්ලා තිබුණා. වඩා නිවැරදිව කීවොත් එස්ටීඑෆ් නිලධාරීන් සැරෙන් සැරේ ඇවිත් මේ ගෙදරටත්, ඒ ගෙදර මුරකාරයාගේ පුතාගේ ගෙදරටත් කරදර කරලා තිබුණා. මේවා ඒ ගෙවල්වල අයගේ සීසීටීවී කැමරාවල සටහන් වෙලාත් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, ගෙදරට එන එස්ටීඑෆ් නිලධාරීන් සීසීටීවී කැමරා ඕෆ් කරන්න දඟලන හැටි, කැමරා අනෙක් පැත්ත හරවන හැටි, කැමරාව ඕෆ් කරන්නට ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරලා විදුලිය විසන්ධි කරන හැටිත් වීඩියෝවලම තිබුණා.

ඊට අමතරව මේ නිලධාරීන්ගේ කියලා ගෙදර අය ප්‍රසිද්ධ කරන හඬපටියක තියෙනවා ‘කුඩු දාලා ඇතුළට දානවා’ කියලා කාන්තාවකට කරන චෝදනාවකුත්.

ඒ ගැන හෙළිදරව්ව කළේ මීඩියාඑල්කේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන. කොහොම නමුත් ඒකෙන් පස්සේ දෙසැම්බර් 05 වැනිදා අද දෙරණ අමුතුවෙන් හොයාගත් එයාලාගේ හෙළිදරව්වක් වගේ ඒ සිදුවීම වාර්තා කළා. ඒකෙන් පස්සේ අද දෙරණට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ප්‍රතිචාරයක් එවලා.

නිවේදනයක් විදියට.

‘උක්ත කරුණට අදාලව දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය තුළින් විකාශය කරන ලද වීඩියෝවෙහි ඇතුළත් කරුණුවලින් පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධයෙන් විකාශය වූ තොරතුරු සත්‍ය නොවන සාවද්‍ය තොරතුරු බවත් ඒවායේ නිවැරදි තත්වයන් පැහැදිලි කරමින් ඔබගේ ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් පෙර ප්‍රවෘත්තියට දුන් ප්‍රමුඛතාවයද ලබා දෙමින් මෙම නිවැරදි තොරතුරුද ප්‍රචාරය කරන ලෙස දැනුම් දෙදමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී මහතා වාර්තාවක් යොමු කර ඇත. ඒ අනුව පහත පැහැදිලි කිරීම ඔබ වෙත ඉදිරිපත් කරමි.’ කියලා ඒ ප්‍රතිචාරයේ මුලින් සඳහන් වෙනවා.

ඒ නිවේදනයේ හැටියට විශේෂ කාර්ය බලකායේ සෙට් එකක් නොවැම්බර් 27 වැනිදා දිවුලපිටියට ගියේ ඒ ගෙදර ඉන්න අය සතුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් මෙන්ම නීතිවිරෝධී ගිනි අවි ඇති බවට ලද තොරතුරකට අනුව කියලා මේ නිවේදනයේ තියෙනවාලු.

මේ ගෙදර අය අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලාත් ඒකේ සඳහන්.

ඉඩමක් අත් පත් කර ගන්න ඉඩමේ මුරකරුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් විශේෂ කාර්ය බලකාය බලපෑම් කළා කියලා එල්ලවෙන චෝදනාව බොරුලු. පොලිස් විශේෂ කාර්ය බලකාය කරලා තියෙන්නේ නිත්‍යානුකූල රාජකාරියක්ලු.

ඒ අනුව පොලීසියේ නිවේදනය ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ ගෙවල්වල අය සතුව ආයුධ තිබුණා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ඉඩ තබමින්ම, අපේ ඇස්වලට පේන දේවල් ටික විග්‍රහ කර ගැනීමත් හරිම වැදගත්.

සීසීටීවීවල මොනවාද තිබුණේ, පේන විදියට ඇත්තටම මොනවා වෙන්න ඇතිද?

ඉඩමේ අයිතිකාරයා කියාගත් කෙනාත්, අර රත්තරන් ගොඩගන්න ගියා කියලා චෝදනා ලබපු සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියාත් සීඅයිඩීයට ගිහින් පැමිණිල්ලක් දාලා තියෙන්නේ මේ සිදුවීම ගැනම තමයි.

කොහොම නමුත් මේ කියන දිවුලපිටියේ ඉඩමේ අයිතිකාර කට්ටියගේ සීසීඩීවී කැමරාවල පැහැදිලිව තියෙනවා ඔය එස්ටීඑෆ් කණ්ඩායම නොවැම්බර් මාසේ ගෙදරට එන හැටි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යවල ඉඳන් ආයුධ තියෙනවා කියල සැක තැනකට එස්ටීඑෆ් කඩා වදින්නෙ කොහොමද?

එක මනුස්සයෙක් විතරක් නිල ඇඳුමක් ඇඳගෙන තුවක්කුවක් අරන් බයික් ඇකේ ඇවිත්, අනෙක් අය පාට පාට ඇඳුම් ඇඳගෙන පොළේ යනවා වගේ හෙමීට එනවාද? හෙමීට නෑදෑ ගෙදරක් ඇතුළට යනවා වගේ ඇතුළට යනවාද? නැත්නම් එස්ටීඑෆ් වැටලීමක් කරනවා වගේද?

අනෙක එක වීඩියෝවක තියෙන හැටියට ගෙදර කවුරුත් නැති නිසා ගේට්ටුවෙන් පැනලා, එක්කෙනෙක් ඇතුළෙන් ගේට්ටුව ඇරලා හෙමිහිට ඇතුළට යන හැටි.

නිත්‍යානුකූල වැටලීම් නම් සීසීටීවී කැමරා ඕෆ් කරන්න දඟලන්නේ මොකටද? අනෙක මේ වැටලීම්වලින් ඔය කියන අනතුරුදායක දේවල් අහු වුණාද? අහු වුණා නං ඒ මිනිස්සු උසාවියට නොදා නිදැල්ලේ ඉන්නේ කොහොමද?

ඕවා කියන එක හොඳයි හැටනවලක්ෂෙට. විචාරශීලී පුරවැසියන් ඔය බොරු විශ්වාස කරන්නේ නෑ.

ඔය කියන විදිය ඔය ගෙදර ඇත්තටම ආයුධ තිබුණා නං, ඔය නිවේදනයෙන් මවලා පෙන්වන විදියේ අනතුරුදායක තැනක් නම් ඔය සීසීටීවී කැමරාවල තියෙනවා වගේ ගියොත් එස්ටීඑෆ් එකේ ඉන්නේ අමු ගොං හරක් කියලා තමයි කියන්න වෙන්නේ.

දැං ගලේ පැහැරූ බළල්ලු වගේ කැත කරපුවා වහගන්න බැරිව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දාපු නිවේදනයක් වගේ තමයි මේ පිළිතුර පේන්නේ.

අනෙක් පැත්තෙන් ඇමති සරත්ගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියා සීඅයිඩී යෑමත් අමු ජෝක් එකක්. සතියකට විතර කලින් ඔය මනුස්සයා එල්ටීටීඊය වළදාපු රත්තරන් හොරෙන් ගොඩගන්න උත්සාහ කළා කියලා චෝදනාව ආවේ. දැන් සීඅයිඩීයේ විෂය පථයට කිසිසේත් අදාල නොවෙන කේස් එකක් අරන් එතැනට ගිහින්.

දැන් ආණ්ඩු හෙංචයියන් කොච්චරවත් රිංගන සැලුන් දොර වෙලා තියෙන්නේ සීඅයිඩීය.

සීඅයිඩීය කියන්නේ දැන් ලංකාවේ සිද්ධවෙන විසඳන්න අමාරු අපරාධ ගැන විමර්ශනය කරන ආයතනය නෙවෙයි. ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන වගේ ඇමතිවරුන්ගේ ඉඳන්, නගරාධිපතිලාගේ ඉඳන්, බුද්ධි නිලධාරීන් ඉඳන් ඔය වගේ ඇමතිලාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා දක්වා අය ගැන මාධ්‍යවල යන වාර්තාවලට අදාල හිංචි පිංචි කේස් බාරගන්න ආයතනය. ඊට පස්සේ ඒ වගේ අයට විරුද්ධව අරව මෙව්වා කියන අයව ගෙන්නලා, ප්‍රශ්න කරලා, රස්තියාදු කරලා ‘තොපි ආණ්ඩුවට ගෑවිච්ච උංට විරුද්ධව ලියන්නෙ කරන්නෙ නෑ හොඳේ!’ කියන පණිවිඩය දෙන ආයතනය.

‘අපරාදෙ පරීක්ෂන දෙපාර්තමේන්තුව.’

මේ ගෙදර අයිතිකාර කාන්තාව කියන විදියට ඉඩමේ බොරු ඔප්පු හදලා, පස්සේ ඇහුවාලු මේකට කේස් තියෙන නිසා ලක්ෂ 50ක් වගේ අඩු ගාණකට මේ දිවුලපිටියේ අක්කට 2ක විතර ඉඩම දෙන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කළාලු.

මුරකාරයා කියනවා තමන්ටත් කරදරලු. ලක්ෂ 15ක් දෙන්නම් කියලා මුරකාරයාටත් කිව්වා කියලා තමයි ඔවුන් කියන්නේ.

මේ වගේ සිදුවීම් වුණාම, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් චෝදනා එල්ල වුණාම හරි වගකීම් සහගත ආයතනයක් නම් කරන්නේ මේ ගැන විමර්ශන කරනවා කියලා නිවේදනයක් දාන එක.

මොකද මෙතැන දෙපැත්තක් ඉන්නවානේ.

පොලිස් නිලධාරීන්ටත්, සම්බන්ධීකරණ නිලධාරියාටත් චෝදනා එල්ල කළේ මේ රටේ පුරවැසියන්නේ. ඒ අය මේ සිදුවීමේ එක පැත්තක්නේ. ඉතින් ඒ මිනිස්සු කියනවා නම් ඒකේ ඇත්ත නැත්ත හොයා විමර්ශනයක් කරන්න එපායැ.

අඩු තරමේ බොරුවට හරි විමර්ශනයක් කරලා, පස්සේ හෙළි වූ කරුණු මත ඔය නිවේදනය දැම්මා නම් අපට යම් දුරකට පිළිගන්න තිබුණා.

ඒ වෙනුවට එස්ටීඑෆ් ලොක්කන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් සිදුවීම ගැන පුළුල් විමර්ශන නොකර ගත් කටටම ‘නෑ ඔය මිනිස්සු කියන්නේ බොරු, එස්ටීඑෆ් නිලධාරීන් නිත්‍යානුකූල වැඩක් කළේ’ කීවාම මේ රටේ නීතියෙන් වැඩක් තියෙනවාද? නිල ඇඳුම ඇඳන් කරන ඕනෑ අසාධාරණ වැඩකට පොලිස් ලොක්කන්ගේ බැකප් එක තියෙනවා කියලා හිතෙනවා නේද? පොලීසියේ අය වරදක් කළත්, ඉවසන්න සිද්ධ වෙනවා කියන පණිවිඩය මිනිස්සුන්ට යනවා නේද?

පහුගිය සතියේ ටින්කර් ලසන්ත කියලා ලේබල් කරපු කෙනාව ඝාතනය කිරීමෙන් පස්සේ ඒ ගැන සැක බවට පොලිස්පතිට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලත් විමර්ශනයක් නොකරම, ‘විමර්ශනයට කරුණු නෑ’ කියලා උත්තරයක් එවලා තිබුණා.

ඒ කියන්නේ අඩු තරමේ විමර්ශනයක්වත් කරලා, පොලීසිය පැත්තෙන් වැරැද්දක් වුණාද කියලාවත් ටිකක් හොයා බලන්න වුවමනාවක් මේ ප්‍රධානීන්ට, පරිපාලනයට නෑ.