ජනාධිපතිවරයාගේ ගෙදර කුස්සියටත් ප්‍රායෝගිකව ආ ගෑස් අනතුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

අනිද්දා පුවත්පතේ අදාල පුවත වාර්තා කර තිබුණේ මෙසේය.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මෙම කරුණ සම්බන්ධයෙන් මෙතරම් උනන්දු ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොව එම දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස්වල කුස්සිවලට මෙම අනතුර ඇතුළු වී ඇති නිසාය. නොවැම්බර් 30 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ඔහුගේ කුස්සියටද ඒ බව දැනී ඇති බව පිළිගත්තේය.

අනාරක්ෂිත පාරුවක් නිසා ජීවිත ගණනක් බිලිගනිමින් පසුගියදා කින්නියාවේදී සිදුවූ අනතුරද මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳ සිතන්නට අප පොළඹවන්නකි. දිය මතින් කරන ගමනාගමනයේදී සිදුවන අනතුරු නිසා පුද්ගලයන් මියගිය පළමු අවස්ථාව කින්නියාව නොවේ. එහෙත් දිය මත ගමනාගමනයේදී සිදුවන අනතුරු අවම කරගැනීමට හෝ අනතුරකදී ජීවිත හානි අවම කරගැනීමට උනන්දුවක් මේ ලෙස සිදුවූ බවක් මේ මෑත සිදුවීමේදී අප දැක්කේ නැත. ඒ පෙර සඳහන් කළ ලෙස මේ කිසිවකුගේ කුස්සිවලට එම අනතුර පැමිණ නැති නිසාය. ඔවුන්ට එය අදාළ නොවන නිසාය.

කින්නියා අනතුර සම්බන්ධයෙන් කමිටුවක් පත්නොකළද මේ ගෑස් අනතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කමිටුවක් පත්කරන්නට හේතුවක් තිබේ. ඒ තමන්ට අවශ්‍ය හැම එකටම කොමිසමක් හෝ කාර්ය සාධක බලකායක් පත්කිරීමේ ඇබ්බැහිය නිසා නොවේ. ජනාධිපතිවරයාගේ කුස්සියටද එම ගෑස් අනතුර ප්‍රායෝගිකව පැමිණ තිබූ නිසාය.

ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ භාවිතයට ගැනුණ ගෑස් සිලින්ඩරය කාන්දුවන බව හෝ වෙනත් දෝෂයක් නොවැම්බර් 26 සිකුරාදා හ ඳුනාගෙන ඇති අතර එම ගෑස් සිලින්ඩරය ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ප්‍රධාන කාර්යාලයට එදින එවා තිබේ. මේ සමගම ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ ප්‍රධානීන් කලබලයට පත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ නිවස අයත් ප්‍රදේශයේ ලිට්රෝ නියෝජිතයා මගින් නව ගෑස් සිලින්ඩරයක් ජනාධිපතිවරයාගේ නිවසට යවා තිබේ.

තමන්ගේ කුස්සියටත් දැනුණ නිසා හෝ පාරිභෝගික ප්‍රශ්නයක් පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු අනෙකුත් බලධාරීන් මේ ආකාරයට උනන්දුවීම අනෙකුත් පාරිභෝගික හෝ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සිදුවනවාද යන්න මෙහිදී පැන නඟින බරපතළම ප්‍රශ්නයය.