හමුදා කුමන්ත්‍රණයකින් බලයේ පහ කරපු මියන්මාරයේ හිටපු අගමැතිනි අවුන් සාන් සු-කී වසර 4ක සිට දඬුවමකට ලක් කරලා. එයින් පස්සේ ඒ රටේ මිලිටරි ජුන්ටාවේ නායක අවුන් හ්ලාන්ග් ඒක අවුරුදු දෙකකට සීමා කරලා.
හමුදාව රටවල් පාලනයට ළං වෙලා ලෝකයේ සිදු වී ඇති විනාසයන් මහා තොගයක් අතරින් තවත් එකක් තමයි මියන්මාරයේ සිදුවෙමින් පවතින්නේ. අසාධාරණ චෝදනා මත ඇයට නඩු පිට නඩු වැටෙනවා.
නිවැරදිව කීවොත් මෙය ඇයට එරෙහිව සිදුකරන අධිකරණ විභාගයන් මාලාවකින් එකක්. ඒ කියන්නේ ඇයට විරුද්ධව එක නඩුවක් වෙනුවට නඩු 11ක් තියෙනවා. සමහරවිට සියල්ල අවසානයේ ඇය ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් වෙන්න පුළුවන්.
මේ සම්පූර්ණ කතාව එක්ක අපි සිහිපත් කරගන්න ඕනෑ කාරණයක් තමයි තමන්ගේ මිලිටරි ස්වරූපය ප්‍රසිද්ධියේ පෙන්වන්නට ලිනන් ෂර්ට්වල හමුදා පදක්කම් එල්ලාගෙන යන අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදිනෙදා සිවිල් වැඩවලට වැඩි වැඩියෙන් හමුදාව දායක කර ගනිමින් ඉන්න බව. ඒ වගේම ප්‍රසිද්ධ කතාවකදී තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පාවිච්චි කරලා හිරගත කරන්න පුළුවන් බව කියපු බවත් අමතක කරන්න බෑ. නිසි චෝදනා ගොනු කරලා අධිකරණ නඩුවකින් නැතිව, තක්කඩි පාර්ලිමේන්තුවක කුණු තුනෙන් දෙකක පාලනයක් පාවිච්චි කරලා ප්‍රතිවාදීන්ව සිරගත කිරීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීම මියන්මාරයේ තත්වයට වැඩි වෙනසක් නෑ.
විරෝධතා අවුස්සමින් කොවිඩ්-19 වසංගතය ජාතික ආපදා නීතිය කඩ කළ බවටයි ඇයට මේ නඩුවේ චෝදනා කර තිබෙන්නේ. ඒත් මේ කියන විරෝධතා ඇති වුණේ ඇයව හිරේ දැමීමෙන් පස්සේ. විරෝධතා එද්දී ඇය හිටියේ හිරේ. හරියට ගත්තොත් මිලිටරි කුමන්ත්‍රණයක් කරලා ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණ නායකයන් හිරගත කරලා විරෝධතා ඇවිස්සුවේ මිලිටරි නායකයන්. ඒත්, දඬුවම් කරන්නේ ඇයට.
මේ විදියට ඇයට විරුද්ධව නඩු පිට නඩු දමමින්, ඇයව හිර කරමින් ඉන්නේ ඡන්දයෙන් පත් වූ අගමැතිනිය වූ ඇයව බලයෙන් පහ කරමින් පසුගිය පෙබරවාරි මාසයේදී කළ හමුදා කුමන්ත්‍රණයකින් පස්සේ. එම කුමන්ත්‍රණයෙන් පසු ඇයව බන්ධනාගාරගත කර සිටියා.
සු-කීට අමතරව වින් ම්යින්ට් නම් ඇගේ දේශපාලන සගයාත් උක්ත චෝදනා මත අවුරුදු හතරක සිර දඬුවම ලැබුවා. වින් ම්යින්ට් අවුන් සාන් සු-කීගේ එන්එල්ඩි පක්ෂයේ හිටපු සභාපතිවරයා.
සු කීට තිබෙන චෝදනා 11ම ඇයගේ පැත්තෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ චෝදනා 11ම අසාධාරණ ඒවා බවට චෝදනා එල්ල වෙනවා. කියන විදියට ඇයට තියෙන චෝදනාවල එකතුව අනුව අවුරුදු 104ක විතර සිර දඬුවම් ඇයට ලැබේවි.
හැත්තෑ හය හැවිරිදි සු කී ජීවිතේම හිරගත කරලා තියන්නත්, හිරගෙදරදීම මියයන තැනට පත් කරන්නටත් මිලිටරි පාලනයට ඇගෙන් තර්ජනයක් නොඑන පරිදි පරෙස්සම් වෙන්නත් තමයි ඔවුන් උත්සාහ කරන්නේ. කොහොමත් ඇගේ පාලනයෙන් ඇයව බලහත්කාරයෙන් එළියට දැම්මාට පස්සේ මේ දක්වාම ඇය ඉන්නේ අත්අඩංගුවේ.
මේ වෙද්දී ඇගේ සෞඛ්‍ය තත්වයත් නරක බව තමයි වාර්තා කරලා තියෙන්නෙ.
මේ ගැන ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය නිවේනය කර තිබෙන්නේ මෙය ‘වංක නඩුවක්’ බවත්, මෙම කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීම තවදුරටත් මෙමගින් තීව්‍ර වෙන බවත්.
එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරිය වන ලිල් ට්‍රස් මහත්මියත් මෙයට ප්‍රතිචාර දක්වලා තියෙනවා. විදේශ ලේකම්වරිය කීවාට ඇය කැබිනට් මණ්ඩල සාමාජිකාවක්. ලංකාවේ ඇමති ධුරයකට සමයි. ඇය කියා තියෙන්නේ මියන්මාර මිලිටරි පාලකයන් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරලා ප්‍රජාතන්ත්‍රවාදයට ආපහු යොමු වෙන්න ඕනෑ කියලා. එසේ නැතොත් තවත් ජන කැළඹීම් ඇති විය හැකි බව ඇය කියා තියෙනවා.
මේ ගැන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් දාලා කියා තියෙනවා මේක මිලිටරි පාලනයකදී සියලු ප්‍රතිවාදීන් විනාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම හිර කරන්නට ගන්න උත්සාහයේ අලුත්ම උදාහරණය බව.
ඇයට ඊළඟට තිබෙන නඩුව දෙසැම්බර් 14 වැනිදා. ඒකේ චෝදනාව නීතිවිරෝධී වෝකි ටෝකි ළඟ තියාගෙන හිටියා කියලයි.
මීට අමතරව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කරපු බවට, දූෂණ වංචා චෝදනා ආදිය ඇයට තියෙනවා.
මීට අමතරව වසංගත මර්දන නීති කැඩුවා කියා ඇයට තවත් චෝදනාවක් තියෙනවා. ඒක ලොකුම විහිළුවක් වන්නේ ඇය මාස්ක් එකක් සහ මුහුණ ආවරණය කරන ෂීල්ඩ් එකක් දමාගෙන තමන්ගේ ආධාරකරුවන් පිරිසකට අත වැනීම පදනම් කරගෙන ඒ චෝදනාව එල්ල වීම.
මේ නඩුවල තවත් තත්වයක් තමයි ඇයට එල්ල කරපු චෝදනා, කරුණු ආදිය ගැන ඉතාම අඩු තොරතුරු ප්‍රමාණයක් නිකුත් වීම. මේ නඩු හොර රහසේ අහනවා විතරක් නෙවෙයි, ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්ට මේ ගැන විස්තර ප්‍රසිද්ධ කිරීම තහනම් කරලා තියෙන්නේ.
ඒ නිසා ඇයට මේ මේ චෝදනා තියෙනවා කියන එක හැරුණාම, ඒවායේ තොරතුරු ගැන කිසිවක් හෙළි වෙන්නේ නෑ. ඔය අනුව මිලිටරියට ඕනෑ විදියට ඕනෑ බොරුවක් ගොනු කරලා ඇයව හිරේ දාන්න පුළුවන්.