ඔමික්‍රෝන් ආසාදනය වූ කාන්තාව එන්නත් නැතිව ලංකාවට ආවේ කොහොමද

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ   කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත්  මෙරටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත පවසා ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා ඇත්තේ  මේ පිළිබඳව කොවිඩ්  මර්දන කමිටුවට පැමිණිලි කරන බවය.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ  පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ගුවන් මගීන්ට පමණක් බවත් එසේ තිබියදී අදාළ කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ  මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවත් ඔහු පවසා ඇත.

ඔමික්‍රෝන් කොරෝනා වයිරසය රටට ඇතුළු වීම සහ පැතිරීම පාලනය සඳහා  ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවත්  නව සැර කොරෝනා  ප්‍රභේද පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දැනටමත් යෝජනාවලියක් බාර දුන් බවත් ඔහු පවසා ඇත.