මතකමය ලට්ට ලොට්ට පිරුණු ජයසිරිගේ මතක මල්ල- ලියනගේ අමරකීර්ති

ඩබ්ලිව්. ජයසිරිගේ මතක සමග ලට්ට ලොට්ට අතට ගත්තේ එහි රසවත්ද අර්ථවත්ද තොරතුරු ඇතැයි යන අදහසිනි. ජයසිරි අය්යා මාර කතා කියන්නෙකු බව ඔහු සමග සාද කතා කිහිපයක වාඩි වී සිටීමෙන් මා දන්නා බැවිනි. මා අපේක්ෂා කළ ලක්ෂණය මේ පොතේද විය.

මෙය ලියපු පොතක් නොව කියපු පොතකි. ජයසිරි ලියා ඇත්තේද යාං කතාවක් මෙන් පරණ කතාවක් කියන විලාසයෙනි. ඒ නිසා හැම ඡේදෙකම ව්‍යාකරණ වැරදි තොයකි. ලියන පොක ඒවා වැරදි වුවද කියන පොතකදි වැරදි නොවේ. 

වාග්මය පාරිශුද්ධවාදීන්ගේ ඇස් රිදවන දෙමුහුන් බසින් යුතු ජයසිරිගේ මේ ශෛලිය හෙවත් කියපු බස ජාතිවාදයට මුග්ධත්වය, කලා විහීනත්වය එරෙහි දෘෂ්ටිමය ආස්ථානයක් මතක ගැන කියන්නට නොගැලපෙන්නේ නොවේ. සන්නස්ගල කවරෙහි කියන්නේත් එය විය යුතුය.

මා මේ පොත මිලට ගත්තේ අපේ රටේ සංස්කෘතික ඉතිහාසයක අභ්‍යන්තරික කතාවක් මෙහි ලියැවී තිබෙන බව අනුමාන කළ නිසාය. ඩබ්ලිව්. ජයසිරි යනු 1960 දශකයේ පමණ සිට මෙරට කලා ලෝකයේද වාමාංශික ලෝකයේද සැරිසැරූ චරිතයකි. ඔහු ඇතැම් සිනමා කෘතිවල සහාය අධ්‍යක්ෂකවරයා සේ කටයුතු කළ කෙනෙකි. සිනමාවේ ඉතිහාසය සහාය අධ්‍යක්ෂකවරයෙකු විසින් ලියන ලද නම් බාහිර පර්යේෂකයෙකු ලියූ ඉතිහාසයකට වැඩි දෙයක් මතු වී එයි. කැමරාව පිටුපස සිනමාවේ විවිධ ලට්ට ලොට්ට සහාය අධ්‍යක්ෂකවරයෙකුට දැනගන්නට ලැබෙන බැවිනි. මේ පොතේ විස්තර වන සිනමාව හා සම්බන්ධ නොවන සිද්ධි පිළිබඳ ජයසිරිගේ සාක්ෂි පවා “සහාය අධ්‍යක්ෂකගේ” සාක්ෂි වැනිය. ඒ සිද්ධි වෙන තැන්වල සිටි දෙවන පෙළ චරිතයක දෘෂ්ටියෙන් කියන කතාවකි.

 එය එක්තරා සබ්ඕල්ටන් හෙවත් නිර්-ප්‍රභූ දෘෂ්ටියකින් කියන කතාවකි. විජය කුමාරතුංග නම් මිතුරා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලැබ පළමු රැස්වීම අමතනු ලැබීමට යන පතී සහ ජයසිරි විජය “බෝසත් ගුණැති ශ්‍රීමත් බණ්ඩාරනායක” යැයි පටන්ගන්නා විට විජයට හිතෙන් බැණ බැණ කාරයට ගොස් ඒ වන විටත් අඩක් හිස්ව පැවති වීඑස්ඕඒ බෝතලය හිස් කරන ආකාරය කියවන විට අපේ ගෙදර බෝතලයක වූ අන්තිම වීඑස්ඕඒ ටික වීදුරුවකට දමාගන්නට මටද සිතිණි. ඊයේ රෑ මා පොත කියවූයේ එහෙමය. ඒවා බීම නිසා මා යන අපායක ජයසිරිලා පතීලා වැනි අයද සිටින නිසා මට නම් කිසිම බයක් නැත.

   ජයසිරි ස්ත්‍රීන් ගැනත් මධු විත ගැනත් ලස්සනට ලියන බව අපට සිතෙන්නේ ඒවා අපද අසා කරන දේවල් නිසා වන්නට පුළුවන. 

                           ලොකු චරිත ගැන පොඩි චරිතයක මතක

ධර්මසේන පතිරාජ, සුගතපාල ද සිල්වා, විජය කුමාරතුංග, ප්‍රේමසිරි කේමදාස ආදීන් වීර චරිත ළඟ සිටි අත්උදව්වකාරයාගේ හෝ සයිඩ්කික්ගේ මතකය මේ පොතෙහි එයි. ඒ අතින් මේ පොත ලොකු චරිත ගැන පොඩි චරිතයක මතකය ඇසුරින් සැකසුණකි. ඩබ්ලිව්. ජයසිරි යනු රංගන ලෝකයේ දෙවෙනි පෙළ චරිතයක් නොවේ. ජීවිතයේ තීරණාත්මක කාලයක ලංකාවෙන් පිට වී ජීවත්වීම, චිත්‍රපට සහ නාට්‍ය ආදිය සඳහා තමාටම දිනා ගැනීමට තිබුණු අවස්ථා අන් අයට ලබාදීම ආදිය නිසා සිතාමතාම දෙවෙනි පෙළට ගිය දක්ෂ නළුවෙකි. සිනමාව තුළ ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ ආදීන් කළාක් වැනි ප්‍රධාන පෙළේ චරිත තව බොහෝ ගණනක් රඟපෑ හැකිව තිබූ ජයසිරි එක්තරා පසෙකට වීමකට යොමු වූයේ මන්ද යන්න මට කලෙක සිට තිබුණු ප්‍රශ්නයකි. මේ පොතෙන් ඊට පිළිතුරු කෑලි අහුලා ගත හැකිය.  

   කඩුල්ල ටෙලි නාට්‍යයෙහි කරන්නාගොඩ අප්පුහාමි වැනි ප්‍රධාන චරිතයක් සිනමාවේදීද ලැබිය යුතු වූ ජයසිරි නම් විශිෂ්ට නළුවා එක්තරා දුරකට පසෙකට වූයේ ඇයි? “ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය කඩුල්ල බව මගේ වැටහීමයි.” යනුවෙන් ජයසිරි එක් තැනක ලියයි. එය මාද එකඟ වන කාරණයකි. එපමණක් නොව එවැනි ටෙලි නාට්‍යයකින් දුටු පරිණත කලාකරුවා පතීගේ සිනමා කෘතිවල සිටියේද? 

ජයසිරිගේ ලට්ට ලොට්ට මතක පොත ගැන පිළිවෙළක් ඇති රචනයක් කිරීම අසාධාරණය. ඔහුගේ පොතේ එහෙමට පිළිවෙළක් නැත. එය කියපු පොතක් මිස ලියපු පොතක් නොවේ යැයි මා කලින් කීවේ එහෙයිනි. ජීවිතයෙහි හත්වෙනි දශකයට එළඹ සිටින මිනිසෙකු සිය නෙක නෙක මතක අතනින් මෙතැනින් සිහිකොට කියන මේ පොත ඒ අතින් අමුතුම මතක පොතකි. කේ. ජයතිලකගේ දිනසටහන් වැනි පොතක් නොවේ. මෙහි එන ඇතැම් කොටස් විටින් විට කෙටි රචනා ලෙස තැන තැන පළ කළ ලිපිය. 

එහෙත් මේ කතාංකමය මතක කෑලි  (anecdote)  සහ වින්යෙට් හෙවත් vignette)  මතක ආඛ්‍යායිකා තුළ විසිර අපේ සංස්කෘතික ඉතිහාසය ගැන අර්ථවත් නිරීක්ෂණ තිබේ.

                                       ගුවන්විදුලි සංස්ථාවට වුණ දේ

1960 70 දශකවල ගුවන්විදුලි සංස්ථාව තුළ ඒකරාශී වී පැවති පුදුමාකාර ප්‍රතිභාවන්ත පිරිසක් ගැන මෙහි එන විස්තර අද ගුවන්විදුලිය හා සසඳා බලන කල පුදුමාකාරය. 

දයානන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා, තිලක් ජයරත්න, පී. වැලිකල, අසෝක කොළඹගේ, බර්ටි ගලහිටියාව, ඩී.එස්. දයාරත්න, විජයානන්ද ජයවීර, ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා වැනි අය ස්ථිර කාර්යමණ්ඩලයෙහි සිටි අතර එවැනිම තවත් බොහෝ දෙනා වැඩසටහන්වල සම්පත්දායකයින් ලෙස නිතර ගුවන් විදුලියට ආහ. ඒ අයද අපේ කලා ක්ෂේත්‍රයෙහි ප්‍රධාන චරිත වූහ. එකල ගුවන් විදුලි සංස්ථාව විශ්වවිද්‍යාලයක පැවතියාට වැඩි බරසාර සාකච්ඡා සිද්ධ වූ තැනකි. වටහා ගත හැකි ඓතිහාසික හේතුත්, පහසු දේශපාලන පත්වීම් ලබා දෙන පුටු බවට ගුවන් විදුලියේ මුල් පුටු දූෂණය වී යාමත් සමග ඒ සංස්ථාවට අද සිදු වී ඇති දේ බලන්න. 

මේ දිනවල හඩ්සන් සමරසිංහ මහතා ඉතා ජනප්‍රිය වැඩසටහනක්  ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරයි. “රට කන කට” වැනි නමක් ඇති එය මට ඉඳහිට ඇසේ. හාස්‍ය රසය පිණිස එවිට මම එය අසමි.

මේ ළඟදී සමරසිංහ මහතා දඹුල්ලේ සිට එළවළු මිල ආදිය වාර්තා කරන වාර්තාකරුට මෙසේ කීවේය:

“අර ඇට වර්ගෙ මටත් ටිකක් එවන්න මෙහෙත් ඉන්නවා නිකංම ඉන්න උන් කට්ටියක්. උන් ලව්ව ගුවන් විදුලි සංස්ථාව වටේ තියෙන ඉඩම සුද්ද කරල ඕව වගා කරවන්නයි මං හිතන් ඉන්නෙ.”

ඒ ඇට වර්ගය මට මතක නැත. තල යැයි කියමු.

කොළඹ හතේ ගුවන්විදුලිය වටේ කැළේ එළිකර තල වැවීමෙහි යොදවන්නට පමණක් සුදුසු බිම් කොටන්නන් පිරිසක් රාශීභූත වන තැනක් බවට ගුවන් විදුලිය පත්වී තිබේද? 

මෙවැනි කතාවක් ඇසුණහොත් ඕනෑම ආත්මාභිමානයක් ඇති කෙනෙක් රස්සාවෙන් අස්වී යන්නේය.

 ඩබ්ලිව්. ජයසිරිද අස්වීම් ලිපියක් වත් නොදී ගුවන් විදුලිය හැර යන්නේ 1977 ජේආර්ගේ ජයග්‍රහණයෙන් පසුවය. ඒ ගුවන්විදුලිය වැනි අභිමානවත් ආයතන විනාශ කිරීම ආරම්භ වූයේ  ඒ වසරෙන් පසුවය. ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විනාශ වන්නට වූයේ එතැන් සිට යැයි ජයසිරිගේ සටහන්වලින් පෙනේ. “බඹරු ඇවිත්” චිත්‍රපටය පසෙකට දමා ටිරෝන් ප්‍රනාන්දු නිපද වූ “වීරපුරන් අප්පු” පෝලිම පැන්න තැන සිට යූඑන්පිය චිත්‍රපට සංස්ථාවට වැඩේ දෙන්නට පටන්ගත් හැටි ගැනද යම් යම් තොරතුරු ජයසිරි ලියයි.

     ජයසිරිගේ රචනාවල ඇතැම් තැන්වල එන හරි මිහිරි ඡේද දේවල් කෙළින් කියනු වෙනුවට අඟවයි. මේ ඔහුගේම අක්ෂර වින්‍යාසයද සහිත ඡේදයකි:

“…දැන්වීමේ ගැහැණු මුහුණක් ද විය. අලස රාගික දෑසින් අප දෙස නෙත් හෙලාගෙන සිටි ඇය කවුදැයි මට කවුරුත් කීවේ නැත. “තුංමංහන්දියේ අයිසේ එක්ක තොඳොල් වෙන විසේකාරී ….ඇයමය. “අහස් ගවුම” නැග එන සිහින ධේනුව… එත් ඇයමය. මම ඇය කිහිප වතාවකදී වෙනස් අයුරින් දැක සිටියෙමි. සුමිත්‍රා පීරිස්ට ඇය හීන් කෙල්ල වූවාය. ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දී සයිමන් නවගත්තේගම පින්තාරු කරාට වඩා රාගාධික වුනාද නැද්ද කියා තවමත් තීරණය කර ගැනීමට මම අපොහොසත් වීම විචාරකයන්ගේ නොවේ. පිරිමි එක්ක මේ තරං නිදි වැදුන ගෑණියෙක් බඩක් හදා නො ගැනීම ඒ කාලයේදී ගුණදාස අමරසේකරට නම් ප්‍රශ්ණයක් විය. නෝනෙහාමි පසුපස පන්නන්නට තරං මුහන්දිරම්, ඇය ඔය තරං වයස් ගත වෙන කං හිටියේ ඇයිදැයි විචාරකයන් දැක්කේ නැත.

  හතලිස් අවුරුද්දක් ඇය රෝන්දේ ගියාය…

  ඇය ජීවිතය දෙස බැලුයේ මතවාද මුල් කරගෙන නොවේ. ඇය හුදෙකලා මවකි. දියණියගේ පියා උප්පැන්නයට තම සහතිකය ලබා දී ඇත. ස්වර්ණා ගැන විවිධ ඕපදූප, කේලම්, කටකතා ප්‍රබන්ධ වී ඇත. ඒ අතර ඉතාමත් ජනප්‍රිය ඇය පවුල් කඩා කප්පල් කරන කෲර ගැහනියක් බවය. ඔය කියන ආකාරයේ සාමකාමී පවුල් ඇය අනුදැන හැසිරුනු පරිසරය තුළ පැවතුනු බවක් මම නං නොදනිමි. ඇය ජීවත්වීම සඳහා තනි අරගලයක සටන් කල ස්ත්‍රියකි. එම හුදෙකලාව වටා පිරිමි සංගීත පුටු තරඟයක රවුම් ගිය බව පුනරුච්චාරනය කළ යුතු නැත.”

   සුගතපාලද සිල්වා, ධර්මසේන පතිරාජ යනාදීන්ගේ සිට අශෝක හඳගමගේ සිට රාජිත දිසානායක දක්වා දීර්ඝ ඉතිහාසයක් පුරා කලා ලෝකයේ ප්‍රධාන චරිත ගැන ජයසිරිගේ මතක ඔස්සේ එන්නේ එක්තරා සංස්කෘතික ඉතිහාසයක් ගොඩ නගමිනි. සමහර තැන් ඒවාගේ එන පට්ට හාස්‍ය පිණිස කියවිය හැකිය. එදිනෙදා කතාබහේදී අනෙක් අය හාස්‍යයට ලක් කරන ජයසිරි මේ පොතේ එය කරන්නේ නැත. මරාසාද් නාට්‍යයෙහි ජයසිරි සමග එකට රඟපෑමෙන් පසු ඒ රැඩිකල් කලාකාරයන් සමග සිට පසු කලෙක වන්දිභට්ට විහිළුකාරයෙකු වූ ජැක්සන් ඇන්තනි ගැන පවා ජයසිරි සිනාසෙන්නේ නැත. පතීලා වැනි අයට සාපේක්ෂව ජැක්සන්ලාගේ ක්ෂුද්‍රභාවය පළ වන්නේ ජයසිරිගේ මතක අතර ජැක්සන් වැනි අයට ලොකු ඉඩක් නොදීමෙනි.  “මගේ විඥානයෙ උඹල වගේ අයට ලොකු ඉඩක් නෑ මල්ලි ” යි ජයසිරි කියනු වැන්න.

පොතේ අගය එන යාං හෑලිමය කෙටිකතා පොතේ දෙවෙනි කොටස සේ සැලකිය යුතුය. 

දැන උගත් සාහිත්‍ය කලා රසිකයෙකු වන ජයසිරි තමා සහභාගි වූ හෝ එකල දුටු කිසිම කලා කෘතියක් ගැන සෞන්දර්ය විනිශ්චයක් කරන්නේ නැත. සුගතපාලද සිල්වාගේ ඇතැම් නාට්‍ය අනෙක් නාට්‍යයක් තරම් සාර්ථක වූයේ නැති බව කීම වැනි සරල නිරීක්ෂණ පමණක් කරයි. ඊට වඩා වෙනස් ලක්ෂණ දැකිය හැක්කේ සත්‍යජිත් රායි ගැන ලියන තරමක් දිග ලිපිය වැනි අවස්ථාවලදී පමණි. එය අඩුවකියි සිතේ.  ජයසිරි යනු අවශ්‍ය නම් ගැඹුරු විචාරයෙහි සමත් දෘෂ්ටිමය සහ න්‍යායික ශක්තිය ඇත්තෙකියි මම සිතමි.

   යාං හෑලිමය මතක කතා කොහොමත් ආංශිකය. ඒ බව ජයසිරි කෙළින්ම කියයි. ඒ කාරණය මේ පොත කියවන අයත් දැන සිටීම උචිතය. 

  මේ පොතෙහි එන මතක නිසා ඇති වන එක් වේදනාවක් නම් හැට හැත්තෑව දශකවල වූ බොහීමියානු කලාකාරයා අතුරුදහන්වීම පිළිබඳ ඇති වන වේදනාවයි. ධනේශ්වර මධ්‍යම පාන්තික ජීවිතය වෙත ඒ බොහීමියානුවා හීලෑ වී යාම දරුණු ඛාදනයක් නොවේද?

පොතක මිල පිටු ගණනට සාපේක්ෂ වැඩිවීම ගැන සාකච්ඡාවක් පසුගිය දා ඇති විය. මෙයද මිල කිරීමේ ව්‍යාකරණය තරමක් වැරදුණ පොතකි. එය ඉවසිය හැක්කේ මෙය ඩබලිව්. ජයසිරි ලියූ  සාමාන්‍යයෙන් පළ නොවන වර්ගයේ පොතක් නිසාය.

මෙකල දවසින් දවස කඩදාසි සහ තීන්ත මිල ඉහළ යන බවත්, ලබන වසර පමණ වන විට පොත්වල මිල බෙහෙවින් වැඩි වී ප්‍රකාශන කර්මාන්තය කඩා වැටෙන්නට පවා ඉඩ ඇතැයිද වාර්තා වේ.