බැසිලියානු දර්ශනයේ මුහුණත අගය – මංජුල ගජනායක

රාජ්‍ය තාන්ත්‍රිකත්වය මතුනොව තම කඩවසම්ගත කැරිස්මාවෙන් ජනයා ආලෝලනය කල රොනල්ඩ් රේගන් වරෙක අපූරු ප්‍රකාශයක් කළේය. ඒ මෙපරිදිය. ”Government is not a solution to our problem government is the problem”. අපගේ ගැටළු සඳහා  ආණ්ඩුව සතුව පිළිතුරු නැති බවත්, ආණ්ඩුව ම ගැටළුව බවත් ඔහු තෙපලුවේ තම රාෂ්ට්‍ර පාලනයෙන් බැහැරව කලක් ගිය පසුවය. සැබවින්ම බැසිල් රෝහණ රාජපක්‍ෂ දෙස බලා සිටි මට නිරායාසයෙන් සිහිපත් වූයේ ද  මෙකී සාටෝපගත කියුමයි. අපගේ ගැටළු විසඳන්නට ආ බැසිල් අපිට ගැටළුවක් වීම කවරතරම් සාදෘෂ නිමැවිය හැකි ප්‍රපංචයක්ද?

මින් සැත්තෑ වසරකට පෙර බක්මහ අකුණු දිසි  බක්මසක උපන්  බැසිල් රෝහණ රාජපක්‍ෂ සිය ප්‍රබෝධජනක දේශපාලන චාරිකාවේ ලත් මහාර්ඝ පදවියේ සාඩම්බර උරුමය පසුගියදා උරගා බැලුවේය. ඒ මන්දාලෝකය පැතිරි මඳ අඳුරු පාර්ලිමේන්තු සභා ගැබ අරා හුන් තම ජේෂ්ඨ සොයුරාට අභිමුඛවය.  කඩදාසි පිටු 80 ක් පුරා විහිදුණු දේශයේ හරුබස්ස සනිටුහන් කල මෙකී සුවිසල් පුරෝකථන පත්‍රිකාව කියැවූ බැසිල් රාජපක්‍ෂ තම පුරාවෘත්තගත ගුඪ නාමය ද එකී සංඛ්‍යා දත්ත  අතරේ පාකර හැරියේ යැයි පැවසීමේ කිසි වරදක් නැත. බැසිලාගමනයෙන් සැලි, සසැලී, ප්‍රකම්පිත ව සිටි 6,853,690 ක් වූ දේශප්‍රේමී පොහොට්ටුවාදීන් දුර්මුඛ කොට වරෙක අසුන් ගනිමින්ද, තවත් වරෙක නැඟී සිටිමින්ද,  මුදල් ඇමති පෑ දුක්ඛදායි ප්‍රාතිහාර්යය, කිසිවෙකු හෝ  දැක්මට රිසි නේත්‍රාභිරංජන දසුනක් නම් විය නොහැක්කේමය. 

එහෙව් බජට්ටුවේ අහුපෑවත අද ද වියත් නොවියත් දනෝ තම තම ණෑන පමණින් විදහාපාන්නෝය. එසේවතුදු පොදුවේ වසරක රටෙහි ආදායම් වියදම් ප්‍රක්ෂේපණය උදෙසා බැසිලුන් තතත තතතා  දෙසූ දේ අතරේ ඇති සියක් කඩතොළු අතර සුබවාදී යෝජනා ද ඇති බව සනිටුහන් කොට තැබීම ශ්‍රී ලාංකේය දෙවන ජනරජයේ මුදල් අමාත්‍යවරයා වන ඔහු වෙත කරන ගෞරවයකි. 

මහාචාර්ය රොහාන් සමරජීව නිවැරදිව දක්වන පරිදි දැන් අප සිටින්නේ ආර්ථික අවපාතය නම් වූ ප්‍රචණ්ඩ දිය සුළියේ ආරම්භක ලක්‍ෂයේ හෙවත් අද්දර වන අතර නිසි පිළියම් නොයෙදුවහොත් අප දිය සුළියේ මධ්‍ය ලක්‍ෂය වෙත ඇඹරී, වැහැරී අවතීර්ණ වනු ඇත්තේ සමස්ත සමාජයම ප්‍රකම්පිත කරමිනි. වත්මන් සමාජ අර්බුදය හමුවේ විසඳුම් දීම ගැසට්ටුවක් ගහනවා වැනි සරල වෑයමක් නොවේ. එය දෙමළ භාෂාගත පිරුළක් හා සමගාමී කොට දක්වන්නේ නම් ”කටු පඳුරක් මත්තේ සිනිඳු සාරියක් එලා එය නැවත ඇද ගන්නා විට සාරිය ඉරී විසිරී යන්නා සේය”. 

පොහොට්ටුවාදීන් කෙතරම් භාවාතිශය වුවද බැසිල්ට වුව කල හැක්කේ අති සීමිත කාරියකි. ඒ ඔහු මැවුම්කාර දෙවියන් නොවන බැවිණි.අවාසනාවට නෙළුම් මාවතේ නොදරුවන් බැසිලාගමනය වර නැඟුවේ ඓශ්චර්යාද්භුත වූ ප්‍රවේශයකිනි. ස්වයංතන්ත්‍රයක් වෙත වේගයෙන් ඇදී යන ජනරජයක සාන්තුවරුන් පහළ වේයැයි සිතන පාක්ෂිකයා එක්කෝ සිතීම නතර කල මනවකයෙක්ය. නැත්නම් නිකමෙක්ය.  

මෙකී උත්සහය ”බැසිල් බජට්ටුවේ” කඩතොළු සෙවීම නොවේ. සෙව්වා කියා ඊට විසඳුම් දිය යුත්තේ ද  ජයසුන්දර, ආටිගල, කබ්රාල් ත්‍රිත්වය බැවිනි. ඔවුන්  සතුව ඇති ප්‍රාගුන්‍ය වැහැරී සේදී යන ලද්දේ මීට දශකයකට එහා වන අතර දැන් ඔවුන් ද සිටිය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ න්‍යායාචාර්යවරුන් වූ මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ හා පාස්කරලිංගම්  වැන්නෝ හා එකට ගජේ ගැසිය හැකි  විශ්‍රාමික නිවසකය. එබැවින් මෙම සටහන මෙතැන් සිට කැපකරනු ඇත්තේ මතු දැක්වෙන ප්‍රකාශය කෙරෙහිය.  

”අපේ රට, ජීවන තත්ත්ව දර්ශකවලට අනුව සංවර්ධිත රටවල තත්ත්වයට කිසිසේත්ම දෙවැනි වන්නේ නැහැ. උපතේදී ආයු අපේක්‍ෂාව ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපේ රටේ වැඩිහිටි ජනගහණය ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස, පෙරට වඩා සක්‍රිය සේවයේ යෙදීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා. ඔවුන්ගේ පරිණතභාවය ඵලදායි ව ප්‍රයෝජනයට ගැනීම ඉතාම වැදගත්. එබැවින්,  ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. (අයවැය දෙසුමේ  සිංහල පිටපත , 22 වැනි පිටුව :5.4.11 කොටස)

මුදල් අමාත්‍යවරයා මේ කියන කතාව සහසුද්දෙන් ඇත්තය. සැබවින්ම අපගේ ප්‍රජා සෞඛ්‍යමය මෙන්ම සාමාජිය දත්ත මඟින් සනාථ වනුයේ උද්ධමනය අහස උසට නඟිමින් තිබුණද අප ඉතා ප්‍රමිතිසහගත ජීවනමට්ටමක් ලඟා කරගනිමින් සිටින බවයි.  එපමනක් නොව මෙරටේ ආයු අපේක්‍ෂාව ද කලාපයේ වෙනත් රටවල් හා සසඳා බැලීමේදී ඉතා ප්‍රශස්තය. එය ශ්‍රී ලංකාවේ වසර 76 ක් සේ සනිටුහන් වන විට පකිස්ථානය -67 , ඉන්දියාව 69, නේපාලය – 70  හා බංගලාදේශය  – 72 ලෙසිනි සටහන් වනුයේ. 

තවද ලොව වෙනත් රටවල් හා සසඳන කල රාජ්‍ය සේවයේ විශ්‍රාමික වයස වසර 65 වීම අහඹු හෝ අසාමාන්‍ය එකක් ද  නොවේ.  ලොව අනෙකුත් රාජ්‍ය හා සැසඳීමේදී වයස 65 යනු සාමාන්‍ය විශ්‍රාමික වයස වන අතර ඉනිදු නොනැවතී සමහර රාජ්‍ය, තම විශ්‍රාමික කාල සීමාව තවත් දිග්ගස්සා ඇත්තේය. ඊශ්‍රායලය, ග්‍රීසිය, ඉතාලිය හා නොර්වේ වැනි රාජ්‍ය එකී කාල සීමාව වයස 67 ලෙස නිර්ණය කොට ඇත. එහිලා ලොව විවිධ රටවල් අනුදත් විධික්‍රම එකිනෙකට පරස්පරය. සමහර රටක ස්ත්‍රී – පුරුෂ විශ්‍රාමික වයස එකිනෙකට වෙනස් අතර තවත් රටක විශ්‍රාමික වයස පියවරෙන් පියවර සිදුවන ක්‍රියාවලියක් බවට පත්කොට ඇත. ඊට නිදසුන් සපයන රාජ්‍ය දෙකක් මෙහිලා දැක්වීම වටී. එකක් තායිවානයයි. එහි  විශ්‍රාමික වයස ක්‍රමිකව ඉහළ නංවමින් සිටින අතර වසර 2028 දී පමණ එය වයස 68 ක් වනු ඇත. අනෙක් රාජ්‍යය සිංගප්පුරුවයි. වසර 2030 වනවිට ඔවුන්ගේ සැළසුම වන්නේ විශ්‍රාමික වයස අවුරුදු 70 බවට පත්කිරීමයි.

කරුණු එසේනම් බැසිල් රාජපක්‍ෂ නිවැරදි නොවේද? සැබවින්ම ඔහු නිවැරදිය. අවාසනාවට ඔහු නිවැරදි වුවත් අනුදත් ක්‍රියාපිළිවෙල සිහියට නංවන්නේ වසර දහයකින් කාබනික ගොවිතැන වෙත ක්‍රමිකව යෑමට සැකසූ පිඹුරුපත් පසෙකලා  එකරැයින් කප් එක ගසන්නට ගත් මුග්ධ හා අඳබාල තීරණය හා 65 ප්‍රතිපත්තියද කඩි කුලප්පුමය එකක් බවයි. එහෙත් එහි සැඟවුණු අරමුණ විශ්‍රාම අරමුදල හා අනෙකුත් සමාජ ආරක්ෂණ ඉතිරුම් නොගෙවා යම් කලක් ආර්ථිකය අල්ලා ගෙන සිටීමද විය හැකිය. මළ ගෙවල්වල ඕඹි ගසන්නට අපේ නායකයන් හරි කැමති බව නොදන්නේ කවුද? 

මුදල් අමාත්‍යවරයාගේ ආධ්‍යාශය මනරම් වුවද එය නුදුරු කාල පරාසයේ ශ්‍රී ලාංකේය බිමෙහි පැල කිරීමට අපහසු වෙන අන් යමක් නිසා නොව දැනටමත් මෙරටේ පරිපාලන ක්‍ෂේත්‍රය තුළ රජයන අපිළිවෙල හා  අරාජිකත්වය යමෙකුට එකපැහැර නිවැරදි කැරගත හැකි සීමාවෙන් ඔබ්බට ද ගමන් කොට ඇති බැවිණි. එක් පසෙකින් පාලකයන් ජලභීතිකාවට හසුවූ සුනඛ රැලක් සේ රාජ්‍ය සේවය ප්‍රසාරණය කරන අතරේ ඊට ගෙවිය යුතු වන්දිය ද අති විශාලය. නිදසුනක් ලෙස වසර 2018 දී රජයේ අපේක්‍ෂිත ආදායම වූ රුපියල් බිලියන 2040 න් බිලියන 900 ක පංගුවක් වෙන්ව තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික දීමනා වෙනුවෙනි. එයද ඉවසා වැදෑරුව හැකියැයි අපි මොහොතකට සිතමු. එහෙත් ඉන් ඔබ්බේ මතුවන ගැටලුව නම් මෙරටේ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලකයන්ගේ දාම් පෙතක් බවට පත්ව තිබීමේ ඛේදයයි.

මෙහිලා රාජ්‍ය සේවය යැයි කියු සැණෙන් බොහෝ දෙනෙක් සිහියට නඟා ගැනීමට කැමති වන්නේ අත්‍යාලංකාර ටයි පොල්ලක් ගෙලෙහි ලාගත් පරිපාලන විධායකයන් පමණක්ය. එහෙත් මිට ඇතුළත් කුලකය අසීමිතය. රජයේ රෝහලක සාත්තු සේවයේ නිරත සාත්තු සේවකයා ද, කැලෑබද බංකරයක මදුරුවන් තලමින් කලදවස ගෙවන හමුදා සොල්දාදුවා ද මේ කුලකයේ සාමාජිකයෝය. එහෙත් අවාසනාවට පාලක කරුණාව ලද්දෝ පරිපාලන විධායකයෝය. ඉහත මුදල් අමාත්‍යවරයා දක්වන පරිදි සංවර්ධිත රටක දිස්වන ලක්‍ෂණ හා අප සමගාමී වන්නේ නම් අමතක නොකළ යුතුම කරුණක් ඇත. එනම් මෙරටේ යටත් පිරිසෙන් කවර හෝ විශ්‍රාමික පාරිතෝෂිකයක් ලද යුතු පුද්ගල සංඛ්‍යාව  සමස්ත ජනගහණයෙන් මිලියන 9.5 ක් බවයි. එහෙත් අද ද මෙරටේ විශ්‍රාමය පුදන්නේ ඉන් 56% ක ප්‍රමාණයක් වෙතය. 

මෙකී කවර විෂමතා මධ්‍යයේ වුවද 65 ප්‍රතිපත්තිය වෙත එළැඹිය නොහැකි තීරක සාධකය ලෙස ලියුම්කරු නිරීක්ෂණය කරනුයේ වෙනත් කරුණකි. එනම් හුදු ජේෂ්ඨත්වය හෝ අවස්ථාවාදී දේශපාලන අභිමතාර්ථ මත එහාමෙහා වන විධායකයක් හා මාණ්ඩලික නිළධාරී සංචිතයක් සහිත රටකට මෙමඟින් සිදවිය හැකි අභාග්‍යසම්පන්න ඉරණමයි. මෙරටේ පරිපාලන නිළධරයන් වෙත කවර චෝදනා එල්ල වුවද ක්‍රමයෙන් වැඩෙමින් පවත්නා තරුණ නිළධර සනුහරයේ දැනුම හා ආකල්ප අප්‍රමාණ වන අතර ඉන් බහුතරයක් අල්ලස හා දුෂණය බැහැර කරන්නෝය. 

කලක් මෙරටේ අපමණ පිළිකුලට පත් ආයතනයක් ව පැවති ආගමන හා විගමන  දෙපාර්තමේන්තුව හෙවත් ‘පාස්පෝර්ට් කන්තෝරුවෙහි’ අද දවසේ ප්‍රගතිය විමසන්න. එහි එක් අතිරේක ලේකම්වරියක් තම මුහුණු පොතෙහි මෑතදී පළකළ පෝස්ටුවක දක්වා තිබුණේ ව්‍යසන කාල සමයක අවම කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණයක් සමඟින් ඇය හා සහෝදර නිළධරයන් සිදුකල සේවා සම්පාදනයේ ප්‍රගතියයි. වත්මන් පරිපාලනය හොබවන තරුණ පිරිසේ ආකල්ප අතිශය සුබවාදී වන අතර ඉහත සඳහන් කල අතිරේක ලේකම්වරිය ගැන මාහට ඇත්තේ ඉමහත් වේදනාවකි. හේතුව නම් ඇය විෂයභාර අමාත්‍යවරයා පසුපස ගියහොත් හැර 65 ප්‍රතිපත්තිය හමුවේ ඇයට සිදුවිය හැක්කේ තම දීප්තිමත් හැකියාවන් සමුදාය සිරකොට තබාගෙන සුසුම්ලෑම මිස වෙන අන් කවරක්ද?

එබැවින් 65 ප්‍රතිපත්තිය ඵල දැරිමටනම් බැසිලුන් කල යුතු පළමු කාරිය වෙන අන් යමක් නොව හැකියාවන් පාදක නිළධර තන්ත්‍රයක් වහා හඳුන්වා දීමයි. එය අපි කුශලාතන්ත්‍රය ලෙස හැඳින්වීමට (Meritocracy) කැමැත්තෙමු. එසේ නොවුණහොත් 65 ප්‍රතිපත්තිය විසින් මෙරටේ තරුණ නිළධර තන්ත්‍රයේ සියුම් හැකියාවන් විනාශ කරනු ඇත්තේ ඵලබර රුකක හටගන්නා පිළිලයක් සේය. 

එහි පවත්නා අනෙක් ජුගුප්සාජනක දේ නම් මෙවැනි තීරණ උදෙසා උඩගෙඩි දෙන නිළධරයන්ද එකම තැන ඇටුවම් බහින ලොක්කන් වීමයි. අද ද රාජ්‍ය සේවා අමාත්‍යංශය හොබවන ජේ. ජේ. රත්නසිරි විශ්‍රාමිකයෙක් වන අතර යටත් පිරිසෙන් ජෙෂ්ඨතා අනුපිළිවෙල බලන්නේ නම් එහි රැඳිය යුත්තේ දැනට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ධුරය හොබවන ජේ. එම්. සී. ජයන්ති විජේතුංගයි. එපමණක් නොවේ. එහිම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ව පළාත් සභා සහ පළාත් පාලනය ඉසිලූ එස්.ඩී. ඒ. බී. බොරලැස්ස ගැන සිතන්න. ඔහු මෙරටේ අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දවසේ වැඩි කලක් ගතකලේ රොෂාන් රණසිංහ සමඟ වන අතර ඊට අදාළ රාජ්‍ය අමත්‍යවරයා දුන් පඬුරු පාක්කුඩම මෙකී ලේකම් ධූරයයි. එහි වඩාත් හාස්‍යජනක සිද්ධිය නම් තනතුර දුන් රොෂාන් රණසිංහ ම ඔහු පළවා හැර අදාළ ධූරය උදෙසා සැබෑ හැකියාවන් සහිත යහපත් නිළධරයෙක් පත්කොට තිබීමයි. එබැවින් ඔබ නිවැරදිව වටහා ගත යුතු කරුණ නම් පරිපාලනයේ විශ්‍රාමිකයන් සුළුතරයක් මනා වූ සුහුරු හැකියාවෙන් අද ද අපගේ ගෞරවයට පත්ව වැජඹෙන්නේ වුවද, ඉන් බහුතරයක් සංවිධානාත්මකව පරිපාලන වල ඉහගෙන කන බවයි. 

ඒ නිසාමදෝ වරක් ජනමාධ්‍යවේදියෙක් දැක්වූ කියුමක් මඳක් වෙනස් කොට දැක්වීමට මා රිසියෙමි. ඔහු පැවසුවේ මෙරටේ අසාමාන්‍ය තණ්හාධික ඇත්තෝ උඩරට පන්සල් රකින උන්නාන්සේලා බවයි. එහෙත් දැන් මා කියමි. මෙරටේ ලොකුම තණ්හාකාරයෝ පන්සල් රකින හිමිවරු හා විශ්‍රාමික පරිපාලන ලොක්කෝය. 

තම ධූරයෙන් නික්ම ගොස් නැවත වටයක් කැරකී ඇමතිට කනිපින්දම් කියා නැවතත් ඇමති උපදේශකයා ව අදාළ අමාත්‍යංශයට ම එන මොවුන් හට ආධුනික අමාත්‍යංශ ලේකම්වරයා ‘සර්’ යැයි කියා පසුවට කල යුත්තේද අදාළ විශ්‍රාමිකයා හට කරන්නට බැරි වූ මජර කාර්යභාරයයි. මේ මොන රටක්ද? බැසිල් රාජපක්ෂ ම එවැනි අයවලුන් කීදෙනෙක් නම් පෝෂණය කරන්නේද? මෙවැනි පසුබිමක 65 යනු තරුණ පරිපාලකයන්ගේ සුසානය වන අතර සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම ගිලන්ව යනු ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අව වර්ධිතම රාජ්‍ය ය ලෙසිනි. 

වරක් විලියම් සමර්සෙට් මෝගන් පැවසුවේ මුදල් සයවැනි ඉන්ද්‍රිය හා සම බවත් එහි ඵල නෙලා ගැනුමට ඔබට අනෙකුත් ඉන්ද්‍රියන් පහෙහි ම උපකාරය අවැසි බවත්ය. 65 සමඟ බැසිල් ගෙනා අයවැයද එවැනිය.ඔහු 

සල්ලි ගැන ලියා ඇත්තේ අනෙක් ඉන්ද්‍රියන් පහ ම  අඩපන කර ගෙනය.