ටින්කර් ලසන්ත ඝාතනය විමර්ශණය කරන්න ප්‍රමාණවත් කරුණු නැහැ – පොලිස්පති දන්වයි

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම්වලට ගරු කරන ආයතනයක් බවට පත් කරන ලෙසත් ඉල්ලමින් සංවිධාන 14ක් සහ සිවිල් ක්‍රියාකාරිකයෝ 44 දෙනෙක් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යැවූ ලිපියට පිළිතුරු එවමින් අදාල ඝාතන විමර්ශණය සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පොලිස්පතිවරයා පවසා ඇත.

නොවැම්බර් 27 වන දින අදාල ලිපිය ඊමේල් හරහා. පොලිස්පතිවරයාට යොමු කර තිබුණු අතර එයට පිළිතුරු වශයෙන් පොලිස්පතිවරයා මෙසේ පිලිතුරු එවා. තිබුණි.

 එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ රාජ්‍ය සේවා කොමිසමටද යොමු කර ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී අවසන් වරට ඝාතනය කරන ලද එච් එල් ලසන්ත නම් පුද්ගලයා ඝාතනය කිරීමට සූදානම් වන බව ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ නීතිඥවරයාට ආරංචි වී ඇති බවත්, ඒ අනුව ඔහු ජනමාධ්‍යවේදීන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ ඇති බවත්, එම ආයතන සහ ජනමාධ්‍යවේදීන් වහාම ක්‍රියාත්මක වී මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.

ආයතන සහ ජනමාධ්‍යවේදීන් කළ දැනුම්දීම් නොතකමින් සැකකරු ඝාතනය කිරීම මඟින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෑල්ලු කිරීමක් සිදුව ඇති බව ද, ශ්‍රී ලංකා රජය තම වගකීම් පැහැර ඇති බව එයින් පැහැදිලි වන්නේයැයි ද එම ලිපියේ සඳහන් කර තිබුණි.