සම්මත රාමුවේ අයිනකින් ඇසෙන අනුපමාගේ කවි- ලියනගේ අමරකීර්ති

අපේ ජීවිතවලට සම්මත රාමු තියෙනවා. සමහර විට ඒ රාමු එකක් මත එකක් වැටී අපේ ජීවිත මත එක එක කොටු වැටෙනවා. බොහෝ දෙනෙක් මේ රාමුවේ හරි මැද රාජධානියක බලාධිකාරිය වගේ ඉන්නවා. විවාහය නමැති රාමුවේ අගරැජිණ වගේ කාටත් ආදර්ශයක් වෙමින්, ඒ තරම් ආදර්ශවත් නැති අයට, ඒ කියන්නෙ ඒ රාමුවේ එක එක තරමට අයිනට වී සිටින බිරින්දෑවරුන්ට රවා බලමින් ඉන්න නෝනලා ඉන්නවා. ආගමත් ඔය වගේ රාමුවක්. ජාතිය තව එකක්. ඔය රාමුවල හරි මැදවල ඉන්න පුදුමාකාර බලයකින් තමයි අවට බලන්නෙ. අයින්වල ඉන්න අය දිහා බලන්නෙ චෝදනාත්මක, විනිශ්චයකාර ස්වරූපයෙන්.

හොඳ සාහිත්‍යකාරයො මේ වගේ අයින්වල ඉන්න අය අල්ල ගන්නවා. ගුණදාස අමරසේකරගෙ හොඳම කෙටිකතාවල ඉන්න දිසොංන්චිනා හාමි, පචවෙදා, වගේ අය ඒ වගේ කොන් වුණ චරිත. යටත් විජිත අධ්‍යාපන පද්ධතියත්, ධනේශ්වර මධ්‍යම පාන්තික ජීවිතයත් කියන රාමුවල අයින්වල ඉන්න අය. ජයතිලක කම්මැල්වීරගේ කෙටිකතාවලත් ඉන්නවා නූතන මධ්‍යම පාන්තික ජීවන රාමුවේ කොන්වල ඉන්න අය. 

විශේෂයෙන් 77න් විතර පස්සෙ එන පරිභෝජන ධනවාදයට අහුවුණ මධ්‍යම පාන්තික රාමුවේ කොන්වල ඉන්න අය. කෙටිකතාව මෙහෙ අය අල්ලන්න ගැලපෙනවා කියන එක ඉස්සර ඉඳල කියවෙන කතාවක්. ගොගොල්ගේ හිමකබායෙ ඉඳල තියෙන අදහසක්. ෆ්‍රෑන්ක් ඔකොනර්ගෙ ලෝන්ලි වොයිස් පොතේ ප්‍රධාන ප්‍රවාදයක් ඒක.

                                   ඕනැවට වැඩි උදවිය

කවියෙදිත් මේ සම්මත රාමුවේ අයින්වල නැත්නම් සම්පූර්ණයෙන්ම පිට ඉන්න අයගෙ සියුම් අත්දැකීම් සිංහල කවියට අල්ල ගන්න අය දැන් දැන් ඉන්නවා.

ඒ හැකියාව සහ උනන්දුව කවිකාරියන් ඇසුරින් මතුව තිබීම සිත්ගන්නාසුලු දෙයක්. මොකද අපේ කාන්තාවො අතිබහුතරය තමන්ගේ ජීවින අවකාශවලට අදාළ රාමුවල හරිමැද ඒ රාමුවල අගරාජිණියො වගේ ඉන්න වැඩි කැමැත්තක් දක්වනවා. නැත්නම් දක්වනවා කියල පෙන්නනවා. ඒකට හේතුව පිරිමි අපිත් පවුල, සංස්කෘතික, ජාතිය කියන රාමුවල පරමාදර්ශී ආරක්ෂිකාව විදියට ස්ත්‍රිය දකින්නයි කැමති. ඒ රාමු ප්‍රශ්න කරන ස්ත්‍රිය පිරිමි අපට පේන්නෙ “ඕනවට වැඩි” ගෑනු කියලයි. මම කියන්නෙ පොදු තත්ත්වය.

අනුපමා ගනේගොඩ කියන්නෙ පළමු පොත පළ කරන කිවිඳියක්. හරස් වීදියේ සිට කියන පොතේ නමත් ඒකෙ තියෙන ඔක්කොම කවිවලට ගැලපෙනවා.

මේ පොතත් 2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය නියෝජනය කර තියෙනවා. මෙවන් තරුණ අය මතු කරල ගන්න ඒ තරගය කරන සේවය විසාලයි.

අනුපමා අර මම කියපු සම්මත රාමුවේ අයින්වල ඉන්න අවවරප්‍රාසාදිත චරිත හරි ලස්සනට අල්ල ගන්නවා. ඒක අනුවේදනීය ග්‍රහණයක්. 

ඒ ප්‍රධාන ලක්ෂණය නැති අනුපමාගෙ කවියෙ මොකක්දා මුදුමොළොක් සංවේදීතාවක් තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ක්ෂුද්‍ර මොහොතක පවා ඇති මනුෂ්‍ය්‍යමය අර්ථ සහ උණුසුම ඇය අල්ලනවා. අනුපමා හොඳ නිරීක්ෂිකාවක්. 

මෙන්න එක කවියකින් කොටසක්. කවියෙ නම සුදුනොවනරතුපබළු

ඔක්තෝබර් පළමු වැනිදාට

රඟන බාලිකා මල් වැලකි

වේදිකාවේ පසු ම පෙළක

මගේ දෑස් නතර කරවයි

කළු කැහැටු කෙල්ලක්!

  මෙන්න මේ කළු කැහැටු කෙල්ල තමයි අර රාමුවේ අයිනෙ ඉඳල අපේ අවධානයට කවිය ඔස්සෙ එන්නෙ. මේ වගේ උත්සව අවස්ථාව නැටුම නමැති රාමුවෙ ඉස්සරහ පේළිය හිමිවෙන්නෙ ලස්සන හුරුබුහුටි කෙල්ලන්ට. ආරාධිත අමුත්තන්ගෙ ඇස් දිනාගන්නෙත් ඒ කෙල්ලො. මමත් උත්සවවල ඉස්සරහා පේළියෙ ඉඳල තියෙන නිසා මේක දන්නවා.

අනුපමා මෙහෙම කියනවා:

“ඉදිරිපස තාරකා ඇස් ඇති

වේදිකාවම අතට ගත්

සුදු බෝල දැරියන්ට

ආදරේ වැඩියෙන් ය

ප්‍රධාන ආරාධිතයා පවා

වැලඳගන්නේ ඒ පැටියන්ය.”

හැබැයි කිවිඳියගෙ හිත යන්නෙ අර තාලෙ වැරද වැරදි නටන සුදුත් නැති ලස්සනත් නැති කළු කෙල්ල දිහාට. ඒ කෙල්ල නටනකොට එයාගෙ ඇඳුමෙන් ගිලිහුණ රතු පබළුවක් විසි වෙනවා. කිවිඳිය නොවේ නම් කවියෙ කථිකාවිය ඒක අහුලල අර කෙල්ල හොයාගෙන ගිහින් දෙනවා. ඒ පබඵව දෙන්න යනකොට කෙල්ල මෙහෙම ඉන්නවා:

“උත්සවය කෙළවර

ඈ හිඳී පිටුපා උස් කණුවකට

රතු පැහැ පබළු ඈ අත තබමි

ඈ පිපී යයි

“අනේ එක් නැතුව මම හිටියෙ බය වෙලා”

කවිය අවසන් වෙන්නෙ මෙහෙම:

රෝස පැහැ පුයර ගැල්වූ

කළු පාට කම්මුලකට

තෙත හාදු ගල්වමි

කථිකාවට අතීතයේ ඇතැම් මතක මේ කෙල්ල ඔස්සේ ඇවිස්සෙන්නත් ඇති. ඒකයි ඒ හාදුව කඳුළින් තෙත් වෙලා තියෙන්නෙ.

අනුපමා ගනේගොඩගෙ කවි කීපයකම මේ රාමුවේ අයින්වල ඉන්න අය ඉන්නවා.

මුදුමොළොක් කවි හදක වගතුග අනුපමාගෙ බොහෝ කවිවලින් කියවෙනවා. ඒක මම හිතන්නෙ ඇගේ උණුසුම් හදවතේ ලකුණක්. අමුතු දයාබර බවක් කවියෙ තියෙන්නෙ ඒකයි.

හැබැයි ඒ අතරම කවිය නමැති සෞන්දර්ය වස්තුව ගොඩ නගන ශිල්පීය උපක්‍රම ගැනත් ඇය කල්පනා කරන බව පේනවා. සංරචනය කියන්නෙ කවියක ගොඩ නැංවීම. මේ කවියෙ අහඹු ලෙස ගත්ත එකක්:

ආලෝකය තවමත් මෙතැන

බිඳීයන විටත් අප දෙදෙන

ඔබ නොනිමී හිඳී

ප්‍රේමයේ සිළු අතර

මේ පාළු නිම්නයේ තනි අතට              මල් පිපුණ

බැල්මකින් මඟ හැරිණි ඉසියුම්ම            තරු ලකුණ

සිඳු තෙරක රැලි අතර තබා හිස                පිරිමදින

ළය බැඳුම් රැහැනක්ය ඔබ රැගෙන           විසි කරන

සංසාර බිම් කඩෙක ඇවිද යන්නට         ගිවිසුණු

අත නෑර අත ගත්ත විහඟෙක්ය            ඉගිලුණු

නින්නාද ස්නේහයක් වරින් වර            නැගුණු

හැන්දෑව ශෝකයක් හර්දයක             සර බිඳුණු

බිඳී ගිය පසුත් අප දෙදෙන

ඔබ නොනිමී හිඳී

ප්‍රේමයේ සිළු අතර

  ප්‍රේමයේ බිඳීයාමත්, එහෙත් ඒ ප්‍රේමය නිසා වින්ද ප්‍රීතියත් මේ කවියට කැටි වෙන්නෙ ඉතා සිත්ගන්නා ලෙස. කවිය යටින් ඇහෙන්නෙ ජීවිතය ගැන පරිණත අවබෝධයක් ස්වරයක්. කවියෙ ආරම්භක ඛණ්ඩය කාලය පමණක් වෙනස් කොට කවිය අගදී නැවත යෙදීම නිසා ඇති වන සංරචනය තමයි කවියට මේ ගැඹුරු චමත්කාරය දෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.

අනුපමාගෙ කවියෙ මම මෙතෙක් කියපු සියලු ලක්ෂණ පාහේ කැටි කරගත්ත කවියකින් මම මේ සටහන අවසන් කරන්නම්. 

පොතෙන් ඉරී ගිය පැමිණිලි

මම උයනකොට

අගේ අස්පස් කරල අතු ගාන කොට

අපේ රෙදි හෝදන කොට

ළමයින්ට පාඩම් කියල දෙනකොට

සාරි ඇඳලා ඔෆිස් යනකොට

ඔයගෙ ඇස් බැබලෙනවා

මෙයා හින්දා තමයි මචං ඔක්කොම

ඔයා යාළුවන්ට එහෙම කියනවා

මම සාරියෙන් කලිසමට මාරු වෙන කොට

කවි ලියනකොට

ටි්‍රප් යනකො

ෆොටෝ ෆේස්බුක් දානකොට

ඔයා කියනවා

ළමයි හොඳටම නරක් වෙලා

මොනව වෙලාද මන්දා

මේ කෑම කටේ තියන්න බෑ

එතකොට මම 

පොලොස් උයලා මාළු ඇඹුල් තියල් දාල

කිරී සම්බා බතට පොල් සම්බෝලයක් හදනවා

රහසින් තදින් හුස්මක් හෙළන ගමන්

කවුළුව ඇරල බලනවා

”අද හඳ පායන දවසක්ද?”

අනුපමාගෙ කවි කීපයක් මම තේරුවෙ මේ සතියේ මම පටන්ගත්ත ස්ත්‍රිවාදීසාහිත්‍යවිචාරය පිළිබඳ දේශනවලට නිදර්ශන විදියට. අපේ විශ්වවිද්‍යාලයෙ ශාස්ත්‍ර පීඨයෙ සියයයට 85කට වැඩිය ශිෂ්‍යාවො. ඉන් වැඩි දෙනෙකුට මේ කවියෙ එන බිරිඳගෙ ඉරණම අත්නොවනවා දකින්නයි මම කැමති. ඒ ශිෂ්‍යාවන් එවැනි ඉරණමකට යටත් නොවනවා දකින්නයි මම කැමති. ඒකයි මම අර විෂය උගන්වන්නෙ. ඒත් හඳ එළිය ජනේලයෙන් බිරිඳ ඉන්න තැනට විතරක් වැටිලා මදි.

ඒ එළිය ස්ත්‍රී-පුරුෂ කවුරු මතත් වැටෙන එළියක් වෙන්න ඕනෙ.

මේ පොත ගැන තව ලියන්න දේවල් තියෙනවා. ඒත් මට වෙලාව නෑ. අර දේශනයට සූදානම් වෙන්න ඕනෙ.

දැන් වෙලාව උදේ පහයි තිස් දෙකයි. තව පැය බාගෙකින් මම මගේ බිරිඳ ඇය උගන්වන පාසල ළඟට ඇරලවන රියදුරු වැඩේ කරන්න ඕනෙ.

ඇය ඉස්කෝලෙට අඳින්නෙ සාරිය. අනික් වෙලාවට වැඩියෙන්ම අඳින්නෙ කලිසම්. එෆ්බී එකේ ෆොටෝත් හරියට දානවා. මම නම් මුකුත් කියන්නෙ නෑ. සාරිය නමැති ඇඳුම විසින් ඇඟවෙන සංස්කෘතික රාමුවට ගුරුවරිය හිරවෙලා ඉන්න ගැන නම් වාද විවාද අපේ ගෙදර වෙනවා.

ගෙදර උදව්වට කාන්තාවක් එනවා. මම ඇයගෙ වැටුප ගෙවන්නෙ මගේ බිරිඳ අර කවියෙ ඉන්න බිරිඳගෙ ඉරණමට පත්වෙන්න අවශ්‍ය නැති නිසා. හැබැයි ඉතින් මට ඒ වැටුප ගෙවන්න අමාරුවක් නෑ. ඒ කියන්නෙ මේ ප්‍රශ්නවලට ආර්ථික මානයක් තියෙනවා. හැබැයි ආර්ථික මානයක් විතරක් නෙමෙයි තියෙන්නෙ.

අර කවියෙ ඉන්නෙ සැමියට සමහර විට ඒ මිල ගෙවන්න බැරුව ඇති. පුළුවන් වුණත් නොගෙවන පිරිමිත් ඉන්නවා. ඒ අය මතත් අර හඳ එළිය ටිකක් වැටෙන්න ඕනෙ. එහෙම වෙන්න මෙහෙම කවි ලියවෙලා ඒවා කතාබහට ලක් වෙන්නත් ඕනෙ. මතකනෙ ඉබ්සන්ගෙ ”බෝනික්කිගෙ සෙල්ලම්ගේ ” (සුනිල් විජේසිරිවර්ධන පරිවර්තනය)

amarakeerthi.blogspot.com