ඇමති සරත් කොටි රත්තරන් ගොඩගන්න ජාවාරමට අනුබල දුන්නාද? වැඩේට බැස්ස නිලධාරියාගේ පෙර චෝදනාත් ඇමති හොඳටම දන්නවා! හෙළිදරව්ව

 පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දැමූ රත්තරන් තොගයක් හොරෙන් ගොඩගන්න ගිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හෙවත් සරත් වීරසේකර මහතාගේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ගේ වැඩ තහනම් කරලාලු.

ඒත්, මරු කතාව ඒක නෙවෙයි. ඒ නිලධාරියාගේ පෙර වැරදි තිබියදී, ඇමති ඒවා දැනගෙන නිලධාරියාව ආරක්ෂා කරගෙන ඉඳලා. ඉතින් එහෙම පසුබිමක මේ කියන රත්තරන් ගොඩගැනීමේ ජාවාරම්කාර උත්සාහයට ඇමතිගේ අනුබලයත් තිබුණාද කියන සැකය එනවා.

වැඩේ කියන්නේ මේ කියන සම්බන්ධීකරණ නිලධාරියා මීට කලින් එස්ටීඑෆ් එකේ ඇමති ආරක්ෂකයන් පිරිසකුත් අරන්, ඒ කියන්නේ සරත් වීරසේකර මහත්තයාගේ ආරක්ෂාවට හිටපු පිරිසකුත් එක්කාගෙන දිවුලපිටියේ ඉඩමක් අල්ලන්නත් ගිහින්.

ඒ අනුව මේ චරිතය ඇමති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අවභාවිත කරලා දිවුලපිටියේයි, පුදුකුඩුඉරිප්පුවේයි සිද්ධි දෙකකට මැදිවෙලා. නිකමට හිතමු, මේ පුද්ගලයාට එච්චර හයියක් ආවේ කොහෙන් වෙන්න පුළුවන්ද?

මේ ගැන මීඩියා එල්කේ වෙබ් එක කරපු විමසීමකදී සරත් වීරසේකර මහතා උත්තර දෙමින් කියා තිබුණේ, තමන් ඒ නිලධාරියාව අයින් කළ බව. දිවුලපිටියට ගියේ තමන් ළඟ ඉන්න ආරක්ෂකයන්ය කියන කතන්දරේ ඔහු ප්‍රතික්ෂේප කරලා.

මුලින් මුලතිව් සිද්ධිය ගැන කතා කරමු.

ඒක අමුතුම ඩ්‍රාමා එකක්. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළලා තිබුණ රත්තරන් තොගය මුලතිව් අධිකරණයේ නියෝගයක් මත නොවැම්බර් 25 වැනිදා ගොඩ ගන්න තිබුණාලු.

ඒකේ පසුබිම් කතාව මෙහෙමයි. 2021 ඔක්තෝබර් 10 වැනදා ඒ/ආර්/ 754/2021 අංකයෙන් මෙතැන රත්තරන් සහ එල්ටීටීඊ එකේ භාණ්ඩ තියෙන බවක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තිබිලා. ඒත් ඒවා හොයන්න එතැන කැණීම් කළා කිසිවක් හම්බවෙලා නෑ. ඔය පසුබිමේ නීතිවිරෝධීව රන් භාණ්ඩ සහ යුද උපකරණ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු ස්කෑන් යන්ත්‍රයක් එක්ක අත්අඩංගුවට අරන්.

එතකොට තමයි ආයෙමත් මෙතැන මොකක්හරි තියෙනවා කියන සැකය ඇවිත් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අදාළ ස්ථානයේ රත්‍රන් සහ අවි ආයුධ ඇද්ද කියා පරීක්ෂා කිරීම සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඒ/ආර්/853/2021 අංකයෙන් කරුණු වාර්තා කරලා අධිකරණයේ අවසරය ලබාගෙන.

ඔන්න ඔය කියන අවසරය මත කැණීම් කරන්න තිබුණ දවස තමයි නොවැම්බර් 25.

ඒත්, ඊට දවස් දෙකකට කලින්, ඒ කියන්නේ නොවැම්බර් 23 වැනිදා ඔය කියන සම්බන්ධීකරණ ලේකම්වරයාත්, ධීවර අමාත්‍යාංශයේ කෙනාත් ගිහින් තියෙනවා. පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා මුණගැහිලා මේ රත්තරන් තොගය ඉහළ නියෝගයක් මත ගොඩ ගන්න ඕනෑ කියලා සහයෝගය ඉල්ලලා. ඇත්තටම ඔය කියන පොලිස් නිලධාරියා පත් වෙලා තියෙන්නේත් නොවැම්බර් 19 වැනිදාලු. කෙටියෙන් කීවොත් තනතුරට අලුත්ලු.

කොහොම නමුත්, නොසිතූ විදියට සිද්ධිය පත්තු වෙලා.

ඒ මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලුවාලු. මොකක්ද යකෝ මේ රත්තරන් සීන් එක කියා බලන්න. ඊට පස්සේ මුලතිව් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2021 නොවැම්බර් මස 30 වැනිදා එස්එස්පී/එම්එල්/ඕඩබ්ලිව්/17167/2021 දරන අංකයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බලන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාට වාර්තාවකුත් යොමු කළාලු.

මේ සිදුවීමම ‘මං ඒ නිලධාරියාව අස් කළා’ කියලා ඇමතිට ෂේප් වෙන්න පුළුවන් සිදුවීමක් නෙවෙයි. මේක එක් අතකින් අධිකරණ කටයුත්තතට බාධා කරන්න ගත්ත උත්සාහයක්. අනෙක එල්ටීටීඊ භාණ්ඩ හොරකම් කරනවා කියන්නේ ජාතික ආරක්ෂාවටත් අදාල කාරණයක්. ඇමතිලා තමන්ගේ නිලධාරීන් ගැන වග කියන්නත් ඕනෑ. මොකද, ඔය නිලධාරීන් පත් කෙරෙන්නේත් ඇමතිලාගේ පෞද්ගලික තෝරාගැනීම් මත.

කොහොම නමුත් ඇමති මේ මනුස්සයාගේ පෙර වැරදි දැනගෙන හිටියා කියලා හෙළි වෙන අනෙක් සිද්ධිය හෙළිදරව් කළේ මීඩියා එල්කේ වෙබ් අඩවියේ ඉන්න අපේ සහෝදර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන. මේ කියන පුදුකුඩුඉරුප්පුවේ රත්තරන් පන්නන සීන් එකට අමතරව, මේ සරත් වීරසේකර ගෝලයා ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ ඉඩමකඩ හොර ඔප්පු හදන කේස් එකකටත් මැදිහත් වෙලා කියලා.

ඒ කියන දිවුලපිටියේ ඉඩමේ හිමිකාරිය ඒ ගැන නොවැම්බර් 29 වැනිදා නීතිය හා සාමය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

ඒ පැමිණිල්ලේ හැටියට ඒ කාන්තාවගේ සැමියාට අයිති දිවුලපිටියේ, උල්වල්පොල, සියඹලාවත්තේ ඉඩමකටලු ඔය හොර ඔප්පු හැදිල්ල කරලා තියෙන්නේ. ඒ ඉඩමට ඇවිල්ලා තියෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කට්ටිය එක්කලු. ඇවිත් බලහත්කාරයෙන් ඉඩම මනින්න හැදුවාලු.

මේ කියන ඉඩමට හොර ඔප්පුවක් හදපු සිද්ධිය අද ඊයේ පටන්ගත්ත එකක් නෙවෙයි. අවුරුදු දෙකක් පරණ සිද්ධියක්. 2019 මාර්තු 10 වැනිදා හොර ඔප්පු සිද්ධිය ගැන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට එස්.සී.අයි.බී. 01 153/293 අංකය යටතේ පැමිණිල්ලකුත් කරලා.

දිවුලපිටියේ මේ කියන ඉඩමේ අයිතිකාර පවුල කියන විදියට, එයාලාගේ සීයා කෙනෙකුගේ සොහොනකුත් ඉඩම් අල්ලන අය කඩාදාලා තියෙනවා.

ඔන්න ඔහොම පටන්ගත්ත සිද්ධිය ආයෙත් පත්තුවෙලා තියෙනවා 2021 ජුනි 13 වැනිදා. ඔය සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයා ඇතුළු කට්ටිය ඇවිත් ඉඩම මනින්න ලෑස්තිවෙලා.  මේ ගැන ඉඩම අයිති කාන්තාව ඇමතිවරයාට පැමිණිලිත් කරලා.

එහෙම පැමිණිලි කළත්, ඇමතිගේ පැත්තෙන් හරි මැදිහත්වීමක් වෙලා නෑ. ඇමතිට සම්බන්ධීකරණ ලේකම්ගේ පැත්තේ කට්ටිය කීවාලු, තමන් ඉඩම මනින්න ලෑස්තිවෙද්දී බාධා කරන්නේ පාතාලේ කට්ටියක් කියලා. ඒ කියන්නේ ඉඩම අයිතිකාර කට්ටිය පාතාලේ කල්ලියක්ය කියලා.

කෙසේ නමුත්  එදා ඇමතිටත්, ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ටත් මේ සිද්ධිය ගැන වින්දිත පවුල දැනුවත් කරලා තිබුණාට, පියවර අරන් තිබුණේ නෑ.

සරල බසින් කීවොත් මේ පුදුකුඩුඉරිප්පු ගිහින් ජාවාරම් කරන්න උත්සාහ කළ බව කියන නිලධාරියාගේ පෙර වැරදි තිබිලා. ඒ වැරදි වීරසේකර ඇමතිට වාර්තා වෙලාත් තිබිලා.

කොහොම නමුත් ඉඩමේ අයිතිකාරයාගේ පවුලේ අයගේ හඬ ප්‍රබල නිසා සිද්ධිය කාලෙකට යටපත් වෙලා තිබිලා. ඉඩම මනින්න කරදර කරලා නෑ ඔය ජුනි මාසයේ සිදුවීමෙන් පස්සේ.

ඒත් නොවැම්බර් 27 වැනිදා ආයෙමත් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඇවිත් ඉඩම පරීක්ෂා කළාලු. ඒ ආපු ඡායාරූප සහ සීසීටීවී වීඩියෝ පවා තියෙනවාලු. අන්න ඒ සිදුවීමෙන් තමයි අපි කලින් කීව පැමිණිල්ල නීතිය හා මහජන සාමය අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කරලා තියෙන්නේ.

ඒත් පුතේ මෙතැන කතාව තමයි ඒ ජුනි මාසයේ සිද්ධිය මාධ්‍යවලින් ප්‍රශ්න කරලා, තමන්ට අවුලක් එන තැනට පත් වුණේ නැහැනේ.

ඉතින් හොර ඔප්පු හදාගෙන ඉඩම් ඇල්ලීමේ චෝදනාලත් නිලධාරියාව ඇමති රැකලා. සමහරවිට ඒ නිලධාරියාගේ කෙරුවාවට ඇමති සම්බන්ධයිද කියන ප්‍රශ්නයත් අපි අනිවාර්යයෙන් විමසන්න ඕනෑ. මොකද, සමහර ඇමතිලා ‘සම්බන්ධීකරණ නිලධාරී’ කට්ටිය තියාගෙන ඉන්නේ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න නෙවෙයි, අමාත්‍යාංශවල සම්පත් සහ ඇමතිගේ බලය පාවිච්චි කරලා ඔය වගේ වැඩ කරන්න.

මේ ගැන ඇමති, අමාත්‍යාංශ ලේකම්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සිදුවීමට සම්බන්ධ අයගේ අදහස් වගේම ඡායාරූප ඇතුළත් සම්පූර්ණ ගවේෂණාත්මක වාර්තාව තියෙන්නේ මීඩියාඑල්කේ වෙබ් අඩවියේ. අපි මේ කරුණු උපුටා ගත්තේ එතැනින්.

ඒ ලිපිය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.