“ගෝඨාභය ව්‍යවස්ථා විරෝධියෙක් ” – සරත් එන් සිල්වා

කැබිනට්ටුවෙන් ආවරණය විය යුතු විෂය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කාර්යසාධක බළකා සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ‘ලංකාදීප’ පුවත්පතට පවසා ඇත.

ඇමැතිවරුන් යටතේ ඇති විෂය සඳහා ජනාධිපති කාර්යසාධක බළකා පත්කිරීම ආණ්ඩුකරණය කඩාවැටෙන වැඩක් යැයි ද ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරණතුංග යන හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු එය සිදු නොකළේ යැයි ද හිටපු අගවිනිසුරුවරයා පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසියම් අවස්ථාවක ජනාධිපති කාර්ය සාධක බළකා පත්කළ නමුත් එය ඔහු කළේ උපක්‍රමික වශයෙන් මිස ඇමැතිවරුන්ගේ විෂයවලට අත දැමීමක් හැටියට නොවන්නේ යැයි ද ඔහු සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ කාර්ය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා ඇතැයි ද මේ වනවිට සිදුවන ආණ්ඩුකරණය ගැන කැබිනට් මණ්ඩලයටත් වැටහීමක් නැතැයි ද සරත් එන් සිල්වා මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාවට මේ වනවිට ජාත්‍යන්තරයෙහි ප්‍රජාතන්ත්‍රවිරෝධී රාජ්‍යක ලේබලය ඇල වී ඇතැයි ද එය ගලවාගැනීමේ පළමු පියවර හැටියට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරා ආපසු යා යුතු යැයි ද සරත් එන් සිල්වා මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

සටහන් රේඩියෝ වෙත වාර්තා වන ආකාරයට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ඉදිරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන්ට අදාළ යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇත.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට එක් විය. 

ධාරා වික්‍රමසිංහ