මගේ පුතා ආයුධ හංඟලා නැහැ – පොඩි ලැසිගේ මවගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසීගේ මව, ශ්‍රි ලංකාවේ පිහිටි  එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොවැම්බර් 29 වන දින පැමිණිල්ලක් කර ඇත.

තම පුතුව 2020 ඔක්තෝබර් 16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන  මේ දක්වා රැදවුම් භාරයේ රදවා ගෙන සිටින බවත් රජයේ පාර්ශවයන් ඔහුව පාතාල අපරාධකරුවෙකු ලෙස නම් කරමින් සිටින බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත

 බූස්ස බන්ධනාගාරය තුළ ඔහුව රඳවා ඇති කාලය තුළ ජනාධිපතිවරයාව, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මරා දමන බවට ප්‍රකාශ කළ බවට පදනම් විරහිත චෝදනාවක් නගන බවත්  ඊට අදාල නඩුවක් මේ වන විට අධිකරණය හමුවේ  විභාග වන බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.

තවද 2021 දෙසැම්බර් 16 දින තම පුතුගේ රැදවුම් නියෝග අවසන් වන බවත් ඉන්පසුව ඔහුව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පෑලියගොඩ අපරාධ අංශයට භාර දීමට කටයුතු කරමින් සිටින බවට තමන්ට විශ්වාශ කටයුතු ආරංචි මාර්ග දැනුම් දී ඇති බවත් ඇය එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

මීට පෙරත් රජයේ මාධ්‍යවලින් පාතාල අපරාධ කල්ලි නායකයන් කියා වාර්තා කළ බොහෝ අය පොලිසියේ රැදවුම් භාරයේ සිටින අවස්ථාවලදී ආයුධ පෙන්වන්න රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඒ ආකායෙන්ම තම පුතුව ආයුධ හෝ වෙනත් දෙයක් පෙන්වන්න රැගෙන ගොස් ඝාතනය කිරිමේ ඉඩකඩක් ඇති බව ඇය එම පැමිණිල්ලේ සදහන් කර ඇත. මේ ආකාරයෙන් ආයුධ පෙන්වන්න ගොස් ඝාතනය කිරිමේ අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ශ්‍රි ලංකා පොලිසියේ දැනුවත් කර ඵලක් නොමැති බවත්  පසුගිය සතියෙහි මේ ආකාරයෙන්ම ආයුධ පෙන්වන්න ගොස් ඝාතනය කළ ටින්කර් ලසන්තගේ ඝාතනය එයට හොඳම උදාහරණයක් බවත් එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දැනට රඳවා තබා සිටින තම පුතු, ජනිත් මධුසංඛගේ ජිවිතය ආරක්ෂා කර ගැනීමට  අවශය පියවර ගන්නා ලෙස ඇය තම පැමිණීල්ලේ සදහන් කර ඇත. 

මෙම පැමිණිල්ලේ පිටපතක් ඇය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවටද භාර දී ඇත.