අර්ජුනට අමුතු හීනයක්! පොදු අපේක්ෂකයා වෙන්න ආසයිලු

හොරකම් නොකරන, දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයා වෙන ලෙස ආරාධනා කළොත් ඊට ඉදිරිපත් වෙන්න අකැමැත්තක් නෑ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කියලා.

ජනාධිපතිවරණයට අවුරුදු දෙකක් විතර තියෙද්දී, මේ මිනිස්සුන්ට එන හීන තමයි ඔය. මේ වෙද්දී අප දැනුවත්ව පොදු අපේක්ෂක හීන දකින විස්සක් තිහක් ඉන්නවා. අපට වුණත් දවසක් දෙකක් ගිහින් මිනිස්සුන්ගේ ඇගයීම් ලැබුණොත්, ‘පොදු අපේක්ෂකයා’ වෙන්න හිතෙන්න ඉඩ තියෙනවා. දැන් තියෙන තත්වෙ ඒකයි.

දෙසැම්බර් 01 වැනිදා දළඳා මාළිගාවට ගිහින් එළියට බහිද්දී, ඒ පන්සල වඳින එකටත් කැමරාකාරයන් ගෙන්වාගෙන ඒක මාධ්‍ය ඉවෙන්ට් එකක් බවට හරවාගෙන තිබුණු රණතුංග මහතා ඔය බව කියා තිබුණා.

‘මේ බෞද්ධ රටේ..’ කියලයි ඔහු තමන්ගේ කතාවේදී රට හඳුන්වලා තිබුණේ. කතාවේ වරදක් නෑ. ඒත්, මේක බෞද්ධ රටක් කියන අය බොහෝ විට ඒක කියන්නේ රටේ අනන්‍යතාවයි, ආගමික පසුබිමයි ගැන පහන් සිතින් නෙවෙයි. අනෙකුත් ජනවර්ග හලා, සිංහල බෞද්ධයන්ට ආතල් දීමේ පටු අරමුණෙන්.

‘සියලු දෙනා එකතු වී වැඩ කරන ක්‍රමයක් ඇති කරන ගමන් සියලු දෙනා එකතු වී හොරකම, දූෂණය මර්දනය කිරීමට තරුණ පිරිස් ඉදිරියට ගෙන ආ යුතුයි. දේශපාලනයේදී ජාතීන් අතර, පක්ෂ අතර, ආගම් අතර බෙදීම් ඇති කර නොගත යුතුයි. පළමුවෙන්ම උඩම කෙනා හොරකම් නැවැත්විය යුතුයි. එවිට පහළ හොරකම් සිදුවන්නේ නැහැ. එවැනි කණ්ඩායමක් එකතු වුවහොත් රට ගොඩනැගිය හැකියි.

අද වන විට මේ රට මුදලටම යට වූ රටක් බවට පත් වෙලා. එය ක්‍රීඩාවේ මෙන්ම රටේත් සිද්ධ වීම අවාසනාවන්ත තත්වයක්.’

මේ විදියට රණතුංග මහත්තයා අදහස් දක්වලා තිබුණා.

අර්ජුන රණතුංග කියන නම ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ අදීන වීරයෙකු ලෙස. කතා දෙකක් නැහැ. එහෙත්, ඒ ඔහු ක්‍රීඩා පිටියේදී කළ දේවල් නිසා මිසක, දේශපාලනයේදී කරපු විස්කමක් නිසා නෙවෙයි. පාර්ලිමේන්තුවේ කාලයක් සිටියත් ඔහුගේ දේශපාලන අදහස් දැක්වීම්වල තියුණු බවක් අප දැක නැහැ. දූෂණ විරෝධයක් එක්ක කතා කර තියෙන බව ඇත්ත. අපි මේ තියුණු බව කියා කීවේ දේශපාලනික දැනුම අතින් තියුණු බව ගැන.

ඔහුට මහා පරිමාණ දූෂණ වංචා චෝදනා ඇතැයි වාර්තා වෙලා නම් නැහැ. එහෙත්, කණ්ඩායම් සාමාජිකයෙක්  ලෙස වැඩ කිරීමේ නොහැකියාවක් ඔහුගෙන් ප්‍රකට වෙලා තියෙනවා. දේශපාලන ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී, කණ්ඩායම් ගණනාවකට මාරු වූ කෙනෙක් ඔහු. ක්‍රිකට් පරිපාලනයේදී පවා ඔහුට ලැබුණු අවස්ථාවලදී කළ විස්කමක් නැහැ. අනුන් හදන සංවිධානයකින් ආරාධනා කළොත් පොදු අපේක්ෂකයා වීම මිසක්, තමන් සංවිධානය කරමින් අලුත් දේශපාලන බලවේගයක් හැදීම හෝ, තිබෙන බලවේගයක් පිරිපහදු කරගෙන ඒවා ඇතුළේ සටන් කරමින් රට ඇතුළේ දේශපාලනයක් කිරීමක් ඔහුගෙන් පේන්න නෑ.

සරත් ෆොන්සේකා මහතා වාගේම අර්ජුන රණතුංග මහතාගෙනුත් පේන්න තිබුණේ තමන් කේන්ද්‍රීයව කල්පනා කරන, ස්වයං වර්ණනාවක ඉන්න චරිතයක් විදියටයි.

ඒත් මහත්තයෝ! මැජික්කාරයන් තනියෙන් ඇවිත් වෙනස්කම් කරනු ඇතැයි බලාපොරොත්තු වූ කාලය ඉවරයි.