මාතොට 11වැනි කලාපය
ලංකාවේ තිබෙන දේශපාලන ගැටලු අතරින් නම් කරලා ලැබ තියෙන්නේ ජනවාර්ගික ගැටලුව කියලා. මේ නාමකරණයට අමතරව දෙමළ ත්‍රස්තවාදය, කොටි ත්‍රස්තවාදය, දෙමළ විමුක්ති අරගලය යන ආදී නාමකරණයනුත් දක්නට ලැබෙනවා. නමුත් අපේ සමාජයේ අධිනිශ්චය වෙලා තියෙන්නේ ජනවාර්ගික ගැටලුව කියන නම්කිරීමයි. අනිත් නම්වලට වඩා යථාර්ථයට වඩාත් කිට්ටු නිසා නෙවෙයි වඩාත් බහුල ලෙස යොදාගැනෙන නිසාත් ලිපියේ තේමාවට මේ විවිධ නාමකරණයන් අතර තියෙන වෙනස එතරම් තීරණාත්මක ලෙස බලපාන්නේ නැති නිසාත් ජනවාර්ගික ගැටලුව යන යෙදුම මෙම ලිපියේදී භාවිත කරනවා.
දැන් මම මේ ලිපියේ මූලික තේමාවට ප්‍රවිශ්ට වීම සඳහා මේ ජනවාර්ගික ගැටලුව ගැන ගොඩක් කතා කරන කෙනෙක් කැඳවනවා. ඒ තමයි රාම් මානික්කලිංගම්. මම රාම්ම තෝරාගන්න තීරණය කළේ මේ ලිපියේ තේමාව ගැන කල්පනා කරමින් ඉන්නකොට රාම් ගැටලුව ගැන කතා කරපු කතා කීපයක් ඇසුරෙන් ලියපු පොත් පිංචක් හමුවීම. දෙවැනි එක මේ ප්‍රශ්නයට අදාළව කතා කරන අපේ සමාජය දන්න කියන අනෙක් අයට වඩා රාම්ගේ විශේෂත්වයක් තිබීම. එක පැත්තකින් දෙමළ අනන්‍යතාවයක් සහිත කෙනෙකු විදියට රාම්ට මේ ගැටලුව ඇගට දැනෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම සිංහල සමාජයේ ඇතැම් කොටස් සමග ගනුදෙනු කරලා තිබෙන නිසා ඒ පැත්තේ දෘෂ්ටිකෝණයන් පිළිබඳවත් අවබෝධයක් තිබෙනවා. තුන්වනුව එයා ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක දේශපාලන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හදාරනවා.
රටට ඇවිල්ලා හිටපු කාලේ ඔහු වැඩියෙන්ම කරපු දේ තමයි දෙමළ ජනතාවගේ අභිලාශයන් ගැන සිංහල ජනතාවට කියල දෙන එක. ඒ සඳහා එයා තවත් කට්ටියක් එක්ක සිංහල ජනතාව ජීවත් වෙන ගොඩක් ප්‍රදේශවලට ගිය බවත් මා දන්නවා. ඒ සඳහාම තමන්ගේ සිංහල භාෂා දැනුම සෑහෙන තරමට දියුණු කරගත් බවත් මා දන්නවා. ඒ මොකටද? ජනතාව දැනුවත් කරන්න.
සිංහල ජනතාව කුමක් සඳහාද දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සිංහල ජනතාව දැනුවත් කරන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැරිය කියලා එයා හිතන නිසා. දැන් මේ වැඬේ කළේ ඇමෙරිකාවේ පී.එච්.ඩී කරන රාම් විතරක් නෙවෙයි. ලංකාවේ බී.ඒ කරපු මේ ලියපු මමත් සෑහෙන කාලයක් ඔය වැඬේම කළා. නමේ අගට අකුරු නැති වුණත් සුනන්ද දේශප්‍රිය, එස් මනෝරංජන් වගේ අයත් මේ වැඬේ කරනවා. රාම් වගේම මනෝ රංජනුත් මේ වගේ පොත් පිංචක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒක අනුභූතීන් විස්තර කිරීමක් හැටියට තමයි තියෙන්නේ. නමුත් රාම්ගේ පොත් පිංච කියවනකොට පේනවා බරපතල දේශපාලන ගැටලු ජනතාවට තේරුම් කරලා දෙන්න රාම් කොයි තරම් උථ්සාහ කරනවද කියන එක.
දැන් මේ රාම් සහ අනෙක් අයගේ වැඩවලට ඉහළින්ම අනුග්‍රහය ලබාදෙන කෙනෙක් තමයි නීතිය පිළිබඳ මහාචාර්ය පදවියක් දරපු ජී.එල් පීරිස් මහත්තයා. පේන්න තියෙන විදියට ඒ මහත්මයා තමයි මේ වෙලාවේ මේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා වැඩියෙන්ම මහන්සි වෙන්නේ. ඒ මහත්මයා ඉතාම තදින් විශ්වාස කරන බව පේනවා සිංහල ජනතාවට මේ ගැටලුව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දුන්නොත් තමන් ඉස්සරහට පවත්වන්න යන ජන මත විචාරණයට ඒ ජනතාවගේ එකඟතාවය ලැබෙන බව. දැන් මේ ආකාරයට ජනවාර්ගික ගැටලුව විසඳීමට උථ්සාහ දරන මෙකී නොකී සියලු දෙනාම එක දෙයක් මත තමන්ගේ බලාපොරොත්තු රුවාගෙන තිබෙනවා. අඩුම තරමින් එසේ බලාපොරොත්තු රදවාගෙන තිබෙන බව සමාජයට පෙන්වනවා. ඒ එක දේ තමයි ජනතාව. මේ අය කල්පනා කරන බව පේන්නේ මේ ජනවාර්ගික ගැටලුව කියන දේශපාලන ගැටලුව ගැන. ජනතාවට කරුණු තේරුම් කරලා දුන්නොත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා ජනතාව සහයෝගය දෙයි කියන එක.
ජනතාව ගැන තියෙන විශ්වාසය ජනවාර්ගික ගැටලුව විසඳීමට උත්සාහ කරන මේ කලින් කියූ කට්ටිය අතර විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේක අප වටා දකින්නට ලැබෙන දේශපාලනය තුළ ඉතාම තදින් දක්නට ලැබෙන දෙයක්. ජනතා අභිලාශය, ජනතා විශ්වාසය, ජනතාවගේ මතය, ජනතා අරගලය, ජනතා ප්‍රශ්න, ජනතා සේවය, ජනතාවගේ හිතසුව යනාදිය අපේ සමාජයේ බහුලව අහන්නට ලැබෙන යෙදුම්. අපේ දේශපාලනයේ තිබෙන සම්ප්‍රදායික බෙදීම වූ වාමාංශික හා දක්ෂිණාංශික ලේබල්වලින් කොයි පැත්තකට වැටෙන අයගෙන් වුණත් මේ යෙදුම් අහන්න පු`ඵවන්.
දැන් මේ ජනතාව කියන යෙදුම භාවිත කිරීමේ අර්ථ දෙකක් හඳුනාගන්න පුළුවන්. පළමුවැනුව නිශ්චිත අර්ථයක් දනවන්නේ නැතිව මේක පාවිච්චි කළ හැකියි. ඒ කියන්නේ තෝරා නොගත් වර්ගීකරණයට හසු නොකළ මනුෂ්‍යන් පිරිසක් උදෙසා. නමුත් දේශපාලනයේදී බහුලව ජනතාව කියන එක පාවිච්චි වෙන්නේ ඒ ආකාරයට නෙවෙයි. යම් කිසි නිශ්චිත අර්ථයක් ඇතිව සංකල්පීය අර්ථයකින් මෙවැනි අර්ථයකින් ජනතාව කියන යෙදුම භාවිත කරන විට ඒකෙන් හැඟවෙනවා ඒ යෙදුම තුළට ගැනෙන සියලු දෙනාටම පොදු වූ යමක් තිබෙන බව.
දැන් මෙම සංකල්පීය අර්ථය අපේ සාකච්ඡාවේ විෂය වස්තුව වන ජනවාර්ගික ගැටලුව ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරමු.
මම මුලින් සඳහන් කරපු රාම් මානික්කම්ගේ පොත් පිංචේ නම තමයි දෙමළ ජනතාවගේ අභිලාශය කුමක්ද කියන එක. එතනදී මූලික උපකල්පනයක් තිබෙනවා මෙතැනදී දෙමළ ජනතාව කියන යෙදුමට ඇතුල් කරගන්නා පිරිසට යම්කිසි පොදු අභිලාශයක් තිබෙනවා කියන එක. එවැනි පොදු දෙයක් ඇත යන පොදු උපකල්පනය බැහැර කළොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය මේ ජනවාර්ගික ගැටලුව කියන දේශපාලන ගැටලුව තුළ හඳුනාගන්න බැරි වෙනවා. අනෙක් අතට මේ දේශපාලන ගැටලුව විසඳීමට උථ්සාහ කරන අයගේ විශේෂයෙන්ම මම කලින් සඳහන් කරපු අයගේ උත්සාහය තමයි සිංහල ජනතාවට මේ දේශපාලන ගැටලුව තේරුම් කරල දීලා තමන් යෝජනා කරන විසඳුම සඳහා ඒ අයගේ අනුමැතිය ලබාගැනීම.
දැන් දෙමළ ජනතාවගේ අභිලාශයන් මොනවාද කියන එක විග්‍රහ කරද්දී රාම් මානික්කම් කරන දෙයක් තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ අභිලාශයන් හා දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා වෙන්කිරීමක් කරන එක. මෙම වෙන්කිරීමේ ප්‍රතිවිපාකය වෙන්නේ මෙතන දෙමළ ජනතාව කියන රාම් හඳුන්වන දෙයට එල්.ටී.ටී.ඊ එක අයත් නොවීම. නැතිනම් බැහැර කරනු ලැබීම. දැන් අපි හැම කෙනෙක්ම අනුභූතිකව දන්න දෙයක් තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉන්න අඩුම තරමින් අතිබහුතරයක් දෙනා දෙමළ කියන අනන්‍යතාව තුළට වැටෙන අය කියලා. එතකොට අපේ සාමාන්‍ය තේරුම් ගැනීමේදී ප්‍රභාකරන්ගේ සිට පහළම ශ්‍රේණියේ එල්.ටී.ටී.ඊ සාමාජිකයා දක්වා අප හඳුනාගන්නේ දෙමළ ජනතාව කියන පිරිස අතරට වැටෙන අය හැටියටයි. නමුත් රාම් මානික්කම්ගේ එම සාමාන්‍ය තේරුම් ගැනීමේ තලයෙන් ඔබ්බට ගිය දේශපාලන සංකල්ප තලයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගෙන් වෙන් කරනවා. මෙම වෙන්කිරීම තුළ මතුවන ගැටලුව රාම් මානික්කලිංගම්ගේ ඉහත සඳහන් කළ රචනය තුළ විසඳාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.
දැන් මේ රචනාවෙන් ඔබ්බට ගිහින් කරුණු කීපයක් සලකා බැලුවොත් මෙම ගැටලුව මීටත් වඩා සංකීර්ණ එකක් බව පැහැදිලිවේ. දැන් අපි රාම් මානික්කලිංගම්ගෙන් ඇසුවොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අභිලාශයන් දෙමළ ජනතාවගේ අභිලාශයන් අතර බෙදීමක් කරන්න පුළුවන් නම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අභිලාශයන් හා දෙමළ ජනතාව අතර එහෙම නැත්නම් ඊ.පී.ඩී.පී සංවිධානයේ අභිලාශයන් හා දෙමළ ජනතාව අතර එහෙමත් නැත්නම් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ අභිලාශයන් හා දෙමළ ජනතාව අතර එක්කෝ ප්ලොට් සංවිධානයේ අභිලාශයන් හා දෙමළ ජනතාව අතරත් බෙදීමක් කරන්න පුළුවන්ද කියලා මට හරියටම කියන්න බෑ රාම් දෙන උත්තරය අකුරටම මොකක් වෙයිද කියලා. නමුත් රාම් පිළිගනීවි එල්.ටී.ටී.ඊ සංවිධානයේ අභිලාශයන් හා දෙමළ ජනතාවගේ අභිලායශයන් අතර තිබෙන තරම් ආතතියක් නැතත් මේ කියන සංවිධාන හා දෙමළ ජනතාව අතර අභිලාශයන් අතින් තිබෙන වෙනස සංකල්පීය වශයෙන් බෙදා වෙන්කිරීමට පු`ඵවන් බව. මම එවැනි නිගමනයකට එන්නේ රාම්ගේ පොත් පිංච තුළ අඩංගු තර්ක රාමුව මගින් එවැන්නකට ඉඩකඩක් තිබෙන නිසා.
දැන් මෙතැනදී ගැටලුව කලින්ටත් වඩා සංකීර්ණ වෙනවා. දැන් මතුවන එක ප්‍රශ්නයක් තමයි දෙමළ ජනතාව කියලා ඇත්තවශයෙන්ම හඳුන්වන්නේ කවුද කියන එක. අනෙක් ප්‍රශ්නය දේශපාලන තලයේ ප්‍රකාශයට පත්වන එකිනෙක සංවිධානවල අදහස්වලට බැහැරින් තිබෙන බව. රාම් මානික්කලිංගම් විසින් ඟවනු ලබන දෙමළ ජනතාවගේ අභිලාශයන් මොනවාදැයි හඳුනාගැනීමට පාවිච්චි කරන නිර්ණායකයන් මොනවාද කියන එක. එහෙමත් නැත්නම් කුමන්විධික්‍රමයක් මගින්ද දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා රාම් හඳුන්වන දේවල් හොයාගන්නේ.
මොන විදියෙන් හරි රාම් තමන්ගේ පොත් පිංචේ දෙමළ ජනතාවගේ අභිලාශයන් 3ක් හඳුනාගන්නවා. මම ඒක එම කෘතියෙන් එහෙම්මම උපුටා දක්වන්නම්. මම දකින විදියට දෙමළ ජනතාවට විශේෂ අභිලාශ තුනක් තිබෙනවා. ඉන් පළමු වන අභිලාශය තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවයි, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමයි. දෙවැනි අභිලාශය සංස්කෘතික ස්වයංපාලනය එනම් තමන්ගේ සිරිත් විරිත් වැනි දේ ආරක්ෂා කරගැනීමයි. එහෙම නැත්නම් සිරිත් විරිත් ස්වයංපාලනය කරගැනීමට තමන්ට තිබෙන අයිතිය හා කැමැත්තයි. තුන් වැනි අභිලාශය වන්නේ බලය බෙදාහැරීම නැත්නම් බලය විමධ්‍යගත කිරීමයි.
රාම් දෙමළ ජනතාවගේ අභිලාශයන් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ අභිලාශයන් වෙන්කර දක්වන කොට කෙනෙකුට හිතෙන්නේ ඔහු මේ කතා කරන්නේ එකිනෙකා දකින විදියෙන් ‘ඔබ්බේ’ තිබෙන විෂයමූලික දෙයක් කියලයි. නමුත් ‘මම දකින විදියට’ කියල කියනකොට ඒකෙ තිබෙවා යම්කිසි අවිනිශ්චිතබවක්. එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට වෙනත් විදියකින් දකින්න පුළුවන් වගේ ඇඟවීමක්. මේ ලිපිය කියවන අයට මම යෝජනා කරන්නේ මේ අවිනිශ්චිත බව එන්නේ දෙමළ ජනතාව කියන හඳුනාගැනීම තුල තියන ගැටලුව තුලින්ය කියන එක. රාම් දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා හඳුනාගන්න නිශ්චිත දේවල් දිහා බලපුවාම අපට මේ ගැටලුව තවත් මතුකරගන්න පුළුවන්.
දැන් පෞද්ගලික ආරක්ෂාව කියන එක නැත්නම් ජීවිත ආරක්ෂාව කියන එක පොදු දෙයක්. විශේෂයෙන්ම යුද්ධයකට මැදිවෙලා ඉන්න ජන කොට්ඨාසයක් සම්බන්ධයෙන් ගත්තාම හොඳින් තේරුම්ගත හැකි දෙයක්. එමනිසා එය දෙමළ ජනතාවගේ අභිලාශයක් කියලා නම් කිරීම එතරම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් අනික් කරුණු දෙක පිළිබඳ තත්ත්වය ඊට වඩා වෙනස්. මේ දෙවැනි හා තුන්වැනි කාරණා දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා රාම් දැනගත්තේ කොහොමද? දෙමළ ජනතාව කියලා රාම් හඳුන්වන අය එකිනෙකාඇවිල්ලා රාම්ට ඒ පිළිබඳව කිව්වද? එහෙම නැත්නම් ජනමත විචාරණයක් වැනි දෙයක් පවත්වා දැනගත්තද? එහෙමත් නැත්නම් දෙමළ ජනතාව අතර කෙරුණු කිසියම් පර්යේෂණයකින් දැනගත්තද? මම යෝජනා කරන්නේ රාම් මේ නිගමනයට ආවේ ඒ එක ආකාරයකින්වත් නොවෙයි. මේ සංස්කෘතික ස්වයංපාලනය හා බලය විමධ්‍යගත කිරීම කියන ඒවා පසුගිය ශතවර්ෂ භාගය තුළ දෙමළ දේශපාලන කතිකාව ඇතුලේ නිර්මාණය වෙලා පුනර්නිෂ්පාදනය වුණු දෙයක්.
වර්තමානයේ අපේ සමාජයේ එන්නේ විශ්වය ඇතුලේ අධිනිශ්චය වෙලා තියෙන ලිබරල් න්‍යාය තුළ දෙමළ දේශපාලන කතිකාවේ තියෙන මේ අදහස් තමයි ඉස්සරහට වෙන්නේ. සමහරවිට ජාතික චින්තන න්‍යාය, සමාජවාදී න්‍යාය හෝ වෙනත් එකක් අධිනිශ්චය වෙලා තිබුණා නම් වෙනත් දේවල් ඉස්සරහට එන්න තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික චින්තන ගුරුකුලයේ අදහස් පරීක්ෂා කරලා බැලුවොත් මේ කාරණය වටහාගන්න පුළුවන්. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? මම යෝජනා කරන විදියට වෙලා තියෙන්නේ කතිකාව ඇතුලේ අධිනිශ්චය වෙලා තියෙන දේවල් එක්ක සිවිල් චින්තකයෙක් ඇවිල්ලා තමන් හිතන විදියට මේව තමයි දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා කියනවා. සිවිල් චින්තකයෙකුට මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි කියල මගෙන් ඇහුවොත් මම කියන්නේ ඒකට හේතුව කතිකාව තුළ සිවිල් චින්තකයින්ට තියෙන ආධිපත්‍ය තමයි මේ හැකියාව දෙන්නෙ කියන එක.
දැන් එල්.ටී.ටී.ඊ එකට හෝ වෙනත් දෙමළ සංවිධානයකට අයත් නොවන රාම් දෙමළ ජනතාව කියන වර්ගයට ඇතුලත් කරන පුද්ගලයෙක් ඇවිල්ලා දෙමළ ජනතාවගේ අභිලාශයන් කියලා රාම් කියන දේවල්වලට වඩා වෙනස් දේවල් ටිකක් කියන්න ගත්තොත් ඒවා කවුරුත් ගණන් ගන්න එකක් නෑ. ඒ ඇයි? කෙනෙක් කියන්න පුළුවන් ඒ පුද්ගලයා රාම් තරම් උගතෙක් නොවන නිසා කියලා. නමුත් අපි හොඳින් දන්නවා ‘උගතා’ කියන අධිපති රාමුවට වැටෙන්නෙ නැති හුඟක් දේශපාලකයෝ වගේ අය කියන දේවල් සමාජය පිළිගන්නා බව. මම දකින විදියට සිද්ධවෙන්නේ රාම්ට කතිකාව තුළ තියෙන ආධිපත්‍ය අර පුද්ගලයාට නැතිවීම. ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි.
රාම් දෙමළ ජනතාව කියන ගොඩට දාන බහුතරයක් දෙනාට මේ කතිකාව තුළ ඉඩක් නෑ. ඒ නිසා ඒ අයට කවදාවත් කතිකාවට සම්බන්ධවෙලා කතිකාව තුළ ආධිපත්‍ය දරන අයගේ අදහස් සමග ගැටෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
හැබැයි තවත් සිවිල් චින්තකයෙක් ඇවිල්ලා පොතක් ලියලා කිව්වොත් ඔය කියන ඒව නෙවෙයි දෙමළ ජනතාවගේ අභිලාශයන් ඒ අයට වෙනම රාජ්‍යක් ලබාගැනීම කියන එකයි කියලා. එතකොට රාම්ට කරන්න දයක් නෑ. සමහර විට නොයෙක් වාද විවාද කරන්න බැරිකමකුත් නෑ. නමුත් මේ වාද විවාද එක තැනකට ඇවිල්ලා හිරවෙනවා. ඒ හිරවෙන තැන තමයි ජනතාව කියන එක. එහෙම හිරවෙන්නේ අපේ චින්තන විශ්වය ඇතුලේ ජනතාව කියන සංකල්පය ප්‍රොබ්ලමැතිකයක් නිසා. එතනින් කතිකාව ඉවරයි.
අන්තිමට දෙන්නට දෙන්නා කියාගනී දෙමළ ජනතාවට අවශ්‍ය මේකයි, නෑ නෑ ඒ අයට අවශ්‍ය මේකයි. ඊටපස්සෙ තවදුරටත් යන්න අවශ්‍ය නම් කතිකාවෙන් බැහැ. අතින් පයින්. ඊටපස්සෙ තුවක්කුවෙන්. බෝම්බයෙන්. ලංකාවේ වාමාංශික/ දක්ෂිණාංශික සහසම්බන්ධ පක්ෂයේ දෙපැත්තේම ඉන්න චින්තකයින් ජනතාව කියන ප්‍රොබ්ලමැතිකය තුළ හිරවෙලා ඉද්දි ඒ ප්‍රොබ්ලමැතිකයෙන් ගැලවිච්ච ප්‍රභාකරන් ‘ජනතාව’ නැතුව ගරිල්ලා යුද්ධ කරන්නේ ඒකයි. සිවිල් චින්තනයට ඒක තේරුම්ගන්න සෑහෙන්න අමාරු වෙයි.
—