ලංකාවට ‘දේශපාලන විසඳුමකට’ ඇමෙරිකාව- ඉන්දියාව මැදිහත් වෙන්න කියා සුමන්තිරන් වොෂිංටන්වලදී ඉල්ලලා!

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ ‘දේශපාලන විසඳුමක්’ ලබාගැනීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් තමන්ගේ ඇමෙරිකානු සංචාරයේදී ඉල්ලා සිටියාලු.

මේක ඇත්තටම ඉතාම තීරණාත්මක ඉල්ලීමක්.

මේ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වන මීරා ශ්‍රීනිවාසන් එම පුවත්පතට ලියා තිබුණා.  

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, නීති විශේෂඥ, කොළඹ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ කේ. කනග-ඊෂ්වරන් සහ නර්මලා චන්ද්‍රාහසන් ඇතුළු පිරිසක් පසුගිය සතියේ ඇමෙරිකාවේ වොෂිංටන් ඩීසීහිදී එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡාවේදී ඒ ඉල්ලීම කළාලු.

ඇමෙරිකානු සංචාරයෙන් පස්සේ ලන්ඩන් වෙත ගිය මන්ත්‍රී සුමන්තිරන් මහතා, එහිදී ද හින්දු පුවත්පත එක්ක සාකච්ඡා කරමින් මේ ගැන හෙළි කරලා තියෙනවා. ‘ඇමෙරිකාව නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීමෙන් පසු, වොෂිංටනය ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා මැදිහත් වීමට නායකත්වය දෙන්න ඕනෑ. ඒ වගේම වගවීම සහ යුක්තිය ඉටු කරවාගැනීමේ ක්‍රියාවලියටත් ඔවුන් නායකත්වය දෙන්න ඕනෑ.’

ලන්ඩන් ගමනේදී එරට නායකයන් සමගත් සුමන්තිරන් මහතා සාකච්ඡා කරනවා. මේ වෙද්දී එක්සත් රාජධානිය තමයි මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව ඉදිරිපත් කර සිටින ‘කෝ ගෲප්’ එකට නායකත්වය දෙන්නේ.

2022 මාර්තු මාසයේදී, එනම් තව මාස හතරක් ඇතුළත පවත්වනු ලබන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන විශේෂ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ වාර්තාව අනුව ශ්‍රී ලංකාව ගැන ඍජු මැදිහත් වීමක් ජාත්‍යන්තර සමාජය කරනවාද? ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරනවාද යන්න තීන්දු වේවි.

මෙතැන වැදගත්ම කාරණය තමයි ‘දේශපාලන විසඳුමක්’ යන ඉල්ලීමට ඇමෙරිකාව වැනි රටවල සහයෝගය ඉල්ලා සිටීම. මොකද, ශ්‍රී ලංකාවේ යුද්ධය කාලයේ මානව හිමිකම් ගැන යුක්තිය ඉටු කරගැනීමේ ක්‍රියාවලියක් ඕනෑ බව මානව හිමිකම් කවුන්සිල සැසිවාරවලදී බටහිර රටවල් සාකච්ඡා කළාට, ඒ රටවල් මෙරට දේශපාලන විසඳුමක් ගැන කතා කරලා නෑ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බලය බෙදීම ආදී දේශපාලන ආයතන ගැන කෙළින්ම කතා කරලා නෑ. ඍජු මැදිහත්වීම්, ඉල්ලීම් ඔවුන්ගේ පැත්තෙන් එන්නේ නෑ.

ඒ වෙනුවට ජාත්‍යන්තර පාර්ශ්වයකින් එවැන්නකට බලපෑම් කරන්නේ ඉන්දියාව.

කෙසේ වෙතත් මෙවර ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා, කනගීෂ්වරන් වැනි නීති ප්‍රවීණයන් උත්සාහ කර තිබෙන්නේ ව්‍යවස්ථාමය, දේශපාලනික විසඳුමක වැදගත්කම ඒ රටවල නායකයන්ට පහදන්න. විශේෂයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතාබහ කරන්න.

මේ ගමනේදී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක්වල සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තරන්ජිත් සිං සන්ධු මුණගැහුණාලු. ඔහු මීට කලින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් විදියටත් සේවය කරලා තියෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන මැදිහත් වී කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක්.

මීට අමතරව ඇමෙරිකානු සංචාරයන්ට කලින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති ගෝපාල් බාග්ලේ මුණගැසුණා.

‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්’ යනුවෙන් දෙමළ ජාතික සන්ධානය සරලව අදහස් කරන්නේ සුළුතර ජනවර්ගවලට බලතල ලැබෙන විදියේ පුළුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. විශේෂයෙන් දෙමළ ජාතිකයන් බහුතරයක් ජීවත්වෙන ප්‍රදේශවල පාලන බලතල දෙමළ මහජන නියෝජිතයන්ට ලැබෙන ක්‍රමයක්. 13 වැනි සංශෝධනයෙන් යම් විදියක බලය බෙදීමක් සිද්ධ වුණත්, ඒක බොහෝ සීමිතයි. ඒ සංශෝධනයෙන් ලැබුණ සමහර බලතල පවා පාවිච්චි කිරීමට ඉඩක් නැහැ. මේ වෙද්දී නම් මැතිවරණ පවා නෑ.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ක්‍රමයක්. එහෙත් යම් ආණ්ඩුවක් මධ්‍යස්ථව බලය බෙදීමක් ගැන සාකච්ඡා කළොත් මැද තැනකට එන්නට සූදානම් බවත් එම්.ඒ. සුමන්තිරන් වැනි නායකයන් පැහැදිලිව කියා තිනෙවා.

මේක ‘රට බෙදීමක්’ යනුවෙන් සමහරුන් අර්ථකතනය කළාට ඇත්තටම දේශපාලන විද්‍යාව අනුව එහෙම එකක් නැහැ.