ඊයේ මල්පොකුරු, ඉටිපන්දම් ගත්ත මිනිසුන් මඬින්න උතුරේ අවිගත් හමුදා සෙබළු යොදලා

නොවැම්බර් 27 වැනිදා උතුරු පළාතේ ප්‍රදේශ ගණනක දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණාලු.

තැනින් තැන ආරක්ෂක මුරකපොලු සහ අවිගත් සෙබළුන් යොදා හිටියාලු. පාරවල්වල වීදි සංචාර කළාලු.

ඒ ආයුධ රැගත් ත්‍රස්තවාදී සෙබළුන් මැඬලන්න නෙවෙයි. ඉටිපන්දම් සහ මල්පොකුරු රැගත් වියපත් අම්මලා ඇතුළු සාමාන්‍ය මිනිසුන් බියගන්වා මර්දනය කරන්න.

1980 ඉඳන් එල්ටීටීඊ සංවිධානය තමන්‍ගේ අරගලය වෙනුවෙන් ‘ඇදවැටුණු විරුවන්’ වෙනුවෙන් නොවැම්බර් 27 දිනවල මහවිරු දිනය සැමරුවා. කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී උපක්‍රම පාවිච්චි කළ සංවිධානයක් වන නිසා රජයෙන් මෙවැනි සැමරුම් ‘ත්‍රස්තවාදී ක්‍රියා’ ලෙස සැලකුවා.

කෙසේ වෙතත් මේ වෙද්දී මහවිරු දිනය සමරන්නේ යුද්ධය කාලයේ විනාශ වුණ පවුල්වල දරුදැරියන්, සහෝදරසහෝදරියන්, මිතුරන්මිතුරියන්ගේ ජීවිත සමරන්න මිසක් රාජ්‍යයකට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට නෙවෙයි. අනෙක් පැත්තෙන් කිසිම අවිගත් සංවිධානයක මැදිහත්වීමක් නැතිව ස්වෙච්ඡාවෙන් මිනිසුන් කරන සැමරුමක් ඒ.

මෙවැනිම සැමරුමක් තමයි 1989 කාලයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ඉල් මහ විරු සැමරුම කියා කරන්නේ.

කෙසේ වෙතත් අවිගත් හමුදා සෙබළුන්ගේ බාධක මැද සැලකිය යුතු පිරිසක් සංවිධානය වී සැමරුම් කර තිබුණා. ඇතැම් ඒවාට බාධා එල්ල වී තිබුණා.

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ සිය ගණන් එකතු වී මල්, ඉටිපන්දම් රැගෙන තීරුවිල් පිටියට එකතු වී සැමරුම් කරන්නට ගත් උත්සාහයන්ට ආරක්ෂක අංශ බාධා කර තිබුණා.

වේලනයි, චාටි ප්‍රදේශයේ අත්හැර දැමූ එල්ටීටීඊ සුසාන බිමක දේශපාලනඥයන්, ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් සැමරුම් කළා.

මුලතිව් නගරයේ වෙරළ තීරයට එකතු වී සිටි පිරිස්වලට එරෙහිව පොලීසිය බාධා එල්ල කළා.

උසාවි කිහිපයකින් මෙවැනි සැමරුම් වැළැක්වීමට නියෝග ලබාගෙන තිබුණා. ඒ අතරතුරේ උතුරේ කඩ ආදිය වසා දමා තිබුණා. ගමනාගමන කටයුතුත් සීමා වෙලා. උසාවි නියෝග මැද එහේ මෙහේ ගිය සුළු පිරිසකට විතරක් ගමන් බිමන් යන හැටි දක්නට ලැබුණා.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල සුළු සැමරුම් තිබුණත් ප්‍රධාන මට්ටමේ සැමරුම් නොතිබුණාලු.

දෙමළ ජාතික සන්ධානය කෝපායි ප්‍රදේශයේ සැමරුමක් සංවිධානය කළත්, මහේස්ත්‍රාත් උසාවි නියෝගයකින් එය වැළැක්වූ නිසා එය අවලංගු කළාලු.

කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් උසාවි තුනක් මේ සැමරුම් වැළැක්වීමට නියෝග දීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ මල්ලාකම්, චාවකච්චේරි සහ පේදුරු තුඩුව ප්‍රදේශවල.

මුලතිව් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් උසාවිය සැමරුම් තහනම් කරමින් දුන් නියෝගය පසුව සංශෝධනය කර තිබුණේ, එල්ටීටීඊ කොඩි සහ පින්තූර ආදිය නොමැතිව සැමරුම් කළ නොහැකි බව. මේ වාගේම මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම් දිස්ත්‍රික්කවල උසාවිවලින් මෙවැනි සැමරුම් කලින් නැවැත්වීමට නියෝග දිය නොහැකි බව ප්‍රකාශ කර තිබුණා. හදිසියේ එවැනි උත්සවයකදී නීති කඩවීමක් සිදු වුණොත් ඊට පසු නීතිමය පියවර ගත හැකි බව කියා තිබුණා. කෙසේ වෙතත් එල්ටීටීඊ කොඩි, පින්තූර, සලකුණු පාවිච්චි කළ නොහැකි බව නම් එවැනි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබුණා.

පොලීසිය මෙවැනි නියෝග ඉල්ලා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, කොවිඩ්-19 නිරෝධායන නීති සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව.

කෙසේ වෙතත් මිනිස්සු ස්වෙච්ඡාවෙන් කරන සැමරුම් වළක්වමින් ආණ්ඩුව කරන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි අපැහැදිලියි. ත්‍රස්තවාදය වැළැක්වීමට නම් කළ යුත්තේ ඊට හේතු වන තත්වයන් ඉවත් කිරීම. මිනිස්සු ආයුධ අරන් හිංසාවට යොමු වෙන්නේ ආතල් එකට නෙවෙයි. යම්කිසි පීඩාකාරී තත්වයන් තියෙනවා නම්.  ආණ්ඩු පත් කරන්නේ ඒ තත්වයන් ඉවත් කරමින් දේශපාලනික නායකත්වය ගන්න තමයි. ඒක බැරි නම් ගෙවල්වලට යන්න ඕනෑ.

‘තොපිලා අපට ඕනෑ විදියට හිතපල්ලා. අපිලා කියන අයට විතරක් ගරු කරපල්ලා. අපි කියන ඒවා විතරක් සමරාපල්ලා. බැරිනං ගුටි කාපල්ලා’ කියලා වෙන්න ඇති ආණ්ඩුව පැත්තෙන් ඒ මිනිසුන්ට කියන්නේ.

(සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරෙන්.)