මාධ්‍යවේදියාට කටුකම්බි එතූ තල් පිත්තකින් ම්ලේච්ඡ ප්‍රහාරයක් කළ සෙබළුන්!

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන විශ්වලිංගම් විවාචන්ද්‍රන්ට හමුදා සෙබළුන් පිරිසක් ම්ලේච්ඡ ලෙස පහරදීමෙන් පසු ඔහුව රෝහලට ඇතුළත් කර තිබුණා.

ඇත්තටම මේ සෙබළුන් ගැන අපට කේන්තියක් ඇති වුණේ නැහැ.

නොවැම්බර් 27 වැනිදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අවසන් යුද්ධයේදී 2009 මැයි මාසයේ දරුණු ලේ වැගිරීම් සිදු වුණ ස්ථානයේ වාර්තාකරණයක් සඳහා ගිය ඔහුට සෙබළුන් පිරිසක් පහර දී තිබුණා. ඒ පහරදුන් විගස තවත් මාධ්‍යවේදීන් පිරිසක් සිදුවීමෙන් පසු පටිගත කර තිබුණු අතර, පහරදුන් බව වාර්තා කරන්නට ගිය අයට පවා තර්ජනාත්මකව සෙබළුන් හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

එක් සෙබළෙක් තවත් අයෙකුට දූරකථන ඇමතුමක් ගෙන ‘මීඩියා එකෙන් ඇවිත්..’ යනුවෙන් කතා කරන අයුරුත් දක්නට ලැබුණා.

දෙමළ මාධ්‍යවේදීන්ගේ රාජකාරිය ගැන අබමල් රේණුවක ගරුත්වයක් ඇති බවක් ඒ සෙබළුන්ගෙන් පෙනුණේ නෑ. කෙසේ වෙතත් මේ සෙබළුන් සාමාන්‍ය තරුණ පුද්ගලයන්. ප්‍රශ්නය වන්නේ උතුරේ හමුදා කඳවුරුවල රැඳවූ මේ අයව මානසිකව සූදානම් කරලා තියෙන්නේ සාමාන්‍ය දෙමළ මිනිසුන්, මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑ නිරායුධ කෙනෙක්ව යුධ බිමේ හතුරෙක් හැටියට දකින්නයි. ඒ අයට පහරදීම යුධ බිමේ ක්‍රියාවක් ලෙස සාධාරණීකරණය වෙන බව ඔවුන් හිතනවා විය හැකියි. උතුර කියන්නේ ඔවුන්ට යුධ බිමක්. තවමත් කඳවුරු තනා උතුරේ රඳවන මානසිකත්වය එහේ මිනිසුන්ටත් ‘මේක යුධ බිමක් කියන හැඟීම ගෙන දෙනවා.’

මෑතකදී පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා තිබුණා, ‘යුද්ධයේ තුවාලය නැවත නැවත පාරමින් අලුතින් තවත් ගැඹුරු තුවාල හදන එක’ ආණ්ඩුව කරන බව. රාජ්‍ය ඇමතිවරුන් සිරකරුවන්ට පිස්තෝල තබා තර්ජනය කිරීමේ සිට කටුකම්බිවලින් මාධ්‍යවේදීන්ට පහර දීම දක්වා සිදු කරන්නේ එය.