ආයෙමත් ආහාර හිඟයක්? කන්ටේනර් 1000ක් නිදහස් කරන්න ඩොලර් ඉල්ලලා!

කොළඹ වරායේ රඳවාගෙන සිටින දහසකට වැඩි ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ප්‍රමාණයක් නිදහස් කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කරන ලෙස අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා.

එසේ නොවුණහොත් මෙරට ආහාර හිඟයක් ඇතිවෙන්න පුළුවන් බවත් ඔවුන් පෙන්වාදීලා.

සහල්, පරිප්පු, සීනි, සුදුළූණු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම කන්ටේනර්වල තිබෙන බව ඔවුන් කියා තිබෙනවා.

මීට අමතරව ආණ්ඩුවෙන් ඩොලර් නොදුන්න නිසා වරායේ ඒ කන්ටේනර් තැබීමට සිදු වුණ කාලය වෙනුවෙන් ඇතැම් වරාය ගාස්තු ඉවත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා තියෙනවා. එක් පැත්තකින් භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වුණේ ඔවුන්ගේ වරදින් නෙවෙයි. අනෙක් පැත්තෙන් ඔවුන්ට එය පාඩුයිලු.

‘ගාස්තුවලින් නිදහස් නොකළොත්, සාධාරණ මිලකට භාණ්ඩ පාරිභෝගිකයන්ට සපයන්න බැරි වේවි.’ යනුවෙන් ඔවුන් කියා තියෙනවා.

එක් ආනයනකරුවෙකු කියා තිබුණේ තමන්ගේ කන්ටේනර් 100ක් මාසයක් තිස්සේ රඳවා තියෙන බව.

ආනයනකරුවන් එසේ කීවත් රේගුවේ ප්‍රධානී විජිත රවිප්‍රිය සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණේ කටයුතු අවසන් නොකර තිබෙන කන්ටේනර් සංඛ්‍යාව 500ක් පමණ වන බව.