DIG රන්මල්ගෙන් ගුටිකෑ තරුණයා අධිකරණයට

කිරිඇල්ල ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පහර දුන් මිෂාර රණසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ නීතිවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙසත් වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස නිලතල දැරීමට නුසුදුසු බවත් එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කිරිඇල්ල වැඩ බලන ස්ථානාධිපති දිසානායක, අයගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඉන්දික මිලාන්, පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න, නීතිපතිවරයාව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

2021.10. 25 වැනි දින පස්වරු 2 ට පමණ තමන් රත්නපුරයේ සිට පානදුර දෙසට ගමන් කරමින් සිටියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තමාට දරුණු ලෙස පහරදී, ශාරීරික හා ලිංගික වධහිංසා කළ බවත් ඔහු. තම පෙත්සමේ සදහන් කර ඇත.