මාතර කැකුණදූර පදිංචි හේවාලුනුගේ ලසන්ත නොහොත් ටින්කරින් ලසන්තව කළුතර දූෂණ මර්දන ඒකකය නොවැම්බර් 25 වෙනිදා රාත්‍රියේදී ආයුධ පෙන්වන්න එක්ක ගෙන ගිහින් ඝාතනය කරන්න යනවා කියලා විවිධ අය සමාජ මාධ්‍ය හරහා අනාවරණය කරලා තිබුණා.
ඒ වගේම ලසන්තව ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින් මරා දමන බව දන්වමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට ලැබිලා තියෙන්නේ කොමිසමේ හොට්ලයින් අංකයට දූරකථන පණිවිඩයක් විදියට.
ඒ අවස්ථාවේ කොමිසමමේ නිලධාරියෙක් කළුතර දූෂණ මර්දන ඒකකයට දූරකථනයෙන් කතා කරලා හේවාලුනුගේ ලසන්ත කියලා කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවාද අහලා.
කළුතර දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ලසන්ත කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරන් තියෙන බව තහවුරු කරලා.
කොමිසමේ නිලධාරියා අහලා තියෙනවා අත්අඩංගුවේ ඉන්න ලසන්තව ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින් මරන්න සූදානමක් තියෙන බව පැමිණිල්ලක් ලැබිලා තියෙන බව දන්වලා තියෙනවා. ඒකට පිලිතුරු විදියට දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියා කියලා තියෙන්නේ කිසිම විදියකින් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා.
ඒවගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ සාලිය පීරිස් ලසන්තව ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින් ඝාතනය කරන්න ඉඩ ඇති නිසා එයට මැදිහත් වෙන්න කියලා ඉල්ලමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා.
‘කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ඊයේ සවස මෙවැනි සටහනක් පළකර තිබුණා..
”පොලිස් අත්අඩංගුවේ සිටින සැකකාර මාතර තරුණයෙක්ව කලුතර දූෂණ මර්ධන ඒකකයෙන් “ආයුධ පෙන්න” එක්කගෙන යන්න හදන්නෙ. විරුද්ධ වන්න!”

නීතීඥ තිෂ්ය වේරගොඩ තම සමාජ මාධ්‍ය අවඩියෙහි සටහනක් මෙසේ පළ කර තිබුණි.
ඊයේ රෑ 10.45ට කණිෂ්ඨ නීතීඥ වරයෙක් හදිසියේ කෝල් කරලා කිව්වා ඔහුගේ සේවාදායකයෙක් කලුතරදී අත්අඩංගුවට අරගෙන, ඊයේ රෑම මරන්න යනවා පොලීසියෙන් කියලා! මානව හිමිකම් කොමිසමටත් දැනුම් දුන්නා, වෙනත් වගකිවයුතු පුද්ගලයන්ටත් දැනුම් දුන්නා කියලා! දැන් මේ ප්‍රවෘත්තය ලැබුනා!

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ තම සමාජ මාධ්‍ය අවඩියෙහි සටහනක් මෙසේ පළ කර තිබුණි.
ඊයේ රාත්‍රියේ නීතීඥ මිත්‍රයෙක්ගෙන් කෝල් එකක් ආවා. ඔහු කිව්වා ටින්කරින් ලසන්ත නැමැත්තෙක් පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන ඇතිබව. ඔහුව අද රාත්‍රියේ පොලීසිය විසින් මරා දමන බවට තොරතුරක් ලැබී ඇති බව. අද උදේම දැක්ක ප්‍රවෘත්තිය තමයි පොලිස් වෙඩි පහරින් ඔහු මිය ගියා කියන එක. ටින්කරින් ලසන්ත කවුද මොනවද කලේ කියල මම දන්නෙ නැහැ. ඒත් මේ පුද්ගලයාව ඊයේ රෑ මරණබවට පැතිරුණ කතාව නිකන්ම කතාවක් නෙවෙයි කියන එක උදේ වෙද්දි සනාථ වෙලා.
