ගෝඨා ලොකුම පරාජය පිළිගනී! ගොවීන් ඉදිරියේ දණ නවමින් රසායනික පොහොර ගෙන්වන්න ඉඩ දෙයි!

ගුරු සටන ඉදිරියේ දණ නැවීමෙන් පසු ආණ්ඩුව ඊළඟ මහා පරාජය පිළිඅරන්.

රසායනික පොහොර ආනයනය සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් මාසයේදී ගෙන තිබූ අත්තනෝමතික තීන්දුව ආපස්සට හරවමින්, එම තහනම ඉවත් කිරීමට  පසුගියදා කැබිනට් මණ්ඩලය තීන්දු කරලා.

ඒ අනුව රසායනික පොහොර ගෙන්වීමට නැවත අවසර දෙනු ඇති. ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කීවා.

ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස ඔහු ඒක අර්ථකතනය කළත්, මාස ගණනක් තිස්සේ ජනතාවගේ මෙන්ම විද්වතුන්ගේ මතයට අසංවේදීව අධිකාරිවාදී තීන්දුවක් අරගෙන හිටියේ. හරි සලකා බැලීමක් නැතිව අත්තනෝමතික ලෙස හදිසියේ ගත්ත තීන්දුව නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියා.

කෙසේවෙතත් මේ වෙද්දී පොහොර තහනමෙන් දැනටමත් හානි සිදුවෙලාදැයි සිතාගත නොහැකියි. ගොවීන් ඊළඟ කන්නයේ වගා කිරීම අත් හැරීමේ ප්‍රවණතාවකුත් දක්නට ලැබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ කීවා.

“අප කවුරුත් දන්නවා 2021 අප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයක් ඒ සමගම නිකුත් කළා. අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා.”