රාජපක්ෂ මස්සිනාට දෙන්න හිටපු තනතුර සමරසිංහට! ඔහු පාර්ලිමේන්තුවෙන් අස් වෙයි!

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිකම බාර ගන්න මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වීමට ලෑස්ති බව අපි මීට කලින් වාර්තා කළා. නොවැම්බර් 23 වැනිදා ඒ ප්‍රවෘත්තිය තහවුරු කරමින් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඔහු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අගය කරමින් පාර්ලිමේන්තුවේදී කතාවක්ද සිදු කළා. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ෂේප් කර ගැනීම ගැන ඔහු කීවා. යුරෝපය සහ ඇමෙරිකාව ලංකාවෙන් වැඩිපුරම අපනයන කරන රටවල් බවත්, ලංකාවට සල්ලි එන බවත් ඔහු කීවා. ඒ රටවල් මානව හිමිකම් කවුන්සිලයේ අපට එරෙහි යෝජනා ගෙනාවත්, තරහ කර ගන්න බැරි බව ඔහු කීවා. අපේ රටේ වෙන දේවල් වාර්තා කරන්න ඕනෑ බවත් කීවා.

‘අපේ රටේ ඒවා ප්‍රශ්න කරන්නේ කොහොමද? අපි සිංහයෝ!’ වගේ චණ්ඩි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට මේ වගේ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කෙනෙක්ව ඇමෙරිකාවට යැවීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනසක්.

මෙතෙක් දේශපාලන වශයෙන් කුණු බක්කියේ හිටපු ඔහුට ඍජුව ඇමතුම් ලබා දුන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇමෙරිකානු තානාපතිකම බාර ගන්නා ලෙස ආයාචනය කළ බව දේශපාලන තිරය පිටුපස ප්‍රකට කතාවක්.

ඒ වගේම මීට කලින් ඒ තනතුරට පත් කරන්නට සූදානමින් හිටියේ රාජපක්ෂ පවුලේ මස්සිනෙකු වන වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස බවත් ආරංචි මාර්ග පැවසුවා. ලලිත් චන්ද්‍රදාස මහතා ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා කොන්සල්වරයා වශයෙන් කටයුතු කරනවා.

මේ වෙද්දී ශ්‍රී ලංකාව ඉන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් මැද. චීනයෙන් සිතූ සහයෝගය ලැබෙන්නේත් නෑ. චණ්ඩි වගේ චීනයට ළං වෙන්න ගිහින් ලංකාව ඇමෙරිකාව වැනි රටවල් එක්ක හානි කරගත්ත දේශපාලන සම්බන්ධතා ආපහු ශක්තිමත් කරන්නට හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඕනෑ. හුදෙක් පවුලේ අය පත් කරලා බෑ.

හිටපු කැබිනට් ඇමතිවරයෙක් වගේම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රවීණයෙක් වන මහින්ද සමරසිංහ ඇමෙරිකාව වැනි රටවල් එක්ක සුහදව කටයුතු කළ දේශපාලනඥයෙක්. ඉන්දියාවට පත් කරපු මිලින්ද මොරගොඩ කියන්නෙත් එවැනිම හිටපු කැබිනට් ඇමතිවරයෙක්. ඉන්දියාව එක්ක සම්බන්ධතා පවත්වාගැනීමත් හදිසියේ ආණ්ඩුවේ ලොක්කන්ට මතක් වෙලා.