ඩයනාගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර

තමාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා  ගමගේ ඉදිරිපත් කල පෙත්සම සම්බන්ධයෙන්  විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන්ට  අවසර ලබා දී ඇත.

නොවැම්බර් 23 වන දින මෙම අවසරය ලබා. දී ඇති අතර එම විරෝධතා ලබන දෙසැම්බර් මස 13 වැනිදා ට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  නියම කර තිබුණි.

ඒ අනුව පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදා නැවත කැඳවීමට තීරණය වු අතර ප්‍රීති පද්මන් සූරසේන,  ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා. තිබුණි.

සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,සභාපති සජිත් ප්‍රේමදාස ,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහාය එම කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරිය ලෙස තමා කටයුතු කළ අතර එම පක්ෂය පසුව සමග ජන බලවේගය ලෙස නම් කළ බව පෙත්සම්කාරිය තම පෙත්සමේ සදහන් කර තිබුණි.

තමන්  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බවත් එය  ඇතුළුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර  තමන්ට එරෙහි පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂ  නායකත්වය කටයුතු කර ඇති බවත් පෙත්සමේ සදහන් කර තිබුණි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ට එරෙහිව ඡන්දය ලබා නොදීමට සමගි ජන බලවේගය තීරණය කර නොතිබූ බැවින් තමන්ට ඉදිරිපත් කළ චෝදනා පදනම් රහිත වන බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා වල පදනමක් නොමැති බව පෙත්සම්කාරිය පෙන්වා දී ඇත.

  තමන්ව පක්ෂයෙන්  නෙරපූ බව ඔක්තෝම්බර් දහවෙනිදා  පක්ෂ  මහලේකම්වරයා  පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණු බවත් පෙත්සමේ සදහන් කර තිබුණි.

තමන් පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි වන අතර විනය කමිටුව පත් කිරීමද නීතියට පටහැනි වන බවත්  තමන් ට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සහ එය විමර්ශනය  කල විනය කමිටුවේ නිර්දේශ බලරහිත කරන ලෙසත් පෙත්සමේ සදහන් කර තිබුණි.