කබ්රාල්ගේ මොට්ට තියරියට, රෙදි කර්මාන්තයෙන් විරෝධයක්

අවුරුද්දට ඩොලර් මිලියන 750ක් විතර වටිනා ශ්‍රී ලාංකීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන උදවිය කබ්රාල්ගේ රත්තරන් කුකුළා මරා බඩේ බිත්තර පැහැරගැනීමේ මොට්ට ආර්ථික තියරිය ගැන ලොකු වේදනාව පළ කිරීමක් කරලා තියෙනවා.

ඒකට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ලංකාවේ ව්‍යාපාරිකයන්ට කරමින් ඉන්න බලපෑම් මාලාවේ කොටසක් විදියට, ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ අය රෙදිපිළි නිෂ්පාදකයන්ට සල්ලි ගෙවද්දී රුපියල්වලින් සල්ලි ගෙවන්න කියලා කරපු බලපෑමක්.

මේක ‘තොපේ ඩොලර් ඔක්කොම අපේ අඩු රේට් එකට රුපියල්වලට මාරු කරපල්ලා’ කියන මහ බැංකුවේ තගරි ප්‍රතිපත්තියේ දිගුවක් විදියට කරපු වැඩක්.

මේ ප්‍රතිපත්තිය රෙදිපිළි නිෂ්පාදකයන්ට මහ අවුලක්ලු. ඔවුන්ගේ FAAMA නම් සංගමය මේ පිළිබද කණස්සල්ල පළ කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලියා තියෙනවා. ඔවුන් පෙන්වන්නේ තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය, වැඩේ කරන්න ඕනෑ වෙන යන්ත්‍රසූත්‍ර ආදී බොහෝ දේවල් ලංකාවේ නැති බව. ඔවුන්ට ඒවා ලෝකයේ විවිධ රටවලින් ගෙන්වන්න සිදුවෙන බවත්, රුපියල්වලින් ගෙවීම් අය කරන්නට පටන් ගත්තොත් තමන්ගේ කර්මාන්තය කඩාවැටෙන බවත් ඔවුන් පෙන්වලා තියෙනවා.

මේක අපභ්‍රංශයක් වගේ නම් කතාව සරලව මෙහෙමයි. ලංකාවට ඩොලර් බිලියන 5ක විදේශීය විනිමය අවුරුද්දකට ගේන ඇඟලුම් නිෂ්පාදනය හෙවත් නිමි ඇඳුම් මැසීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන්න රෙදි ඕනෑ. ඒවා වැඩිපුර පිටරටින් ගෙනාවත්, යම් ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කරනවා.

සාමාන්‍යයෙන් මෙහෙම නිෂ්පාදනය කරන රෙදිපිළි පිටරට නොයවා, ලංකාවේ ගාමන්ට්වලට හෙවත් ඇඟලුම් නිෂ්පාදකයන්ට විකුණුවත්, ඒවා සලකන්නේ වක්‍ර අපනයන කර්මාන්තයක් විදියට. මොකද, මේ රෙදි ගාමන්ට්වලින් නිමි ඇඳුම් බවට පත්වෙලා අපනයන ආදායමක් උත්පාදනය කරන නිසා. මේ රෙදි ලංකාවෙ හැදුවේ නැත්නම් පිටරටින් ගෙනැත්, ලංකාවෙන් පිටට සල්ලි අද්දන වැඩක් වෙනවා. ඒ නිසා මේ රෙදි කර්මාන්තය කරන්නේ ඩොලර් රැකීමක්.

හැබැයි ඇඟලුම් කර්මාන්තයේ අය මේ අයට ගෙවීම් කරන්නේ ඩොලර්, යුරෝ, ස්ටර්ලිං පවුම් ආදී මුදල් ඒකකවලින්. ඒ නිසා නිමි ඇඳුම් කර්මාන්තයේ අය ඩොලර් පිටරට නොයැව්වාට, ඒ සල්ලි රුපියල් වෙමින් මහ බැංකුවට වුවමනා විදියට බැංකු පද්ධතියට ඉතිරි වෙන්නේත් නෑ.

දැන් මහ බැංකුව බලන්නේ තමන්ට රත්තරන් බිත්තර දෙන කුකුළන්ව මරලා, උංට තර්ජනය කරලා, තග දාලා බඩ පලලා බිත්තර ටික අරගෙන, කුකුලාගේ මස් ටිකත් කරන්න. ලංකාවට ඩොලර් ටිකක් ගේන මිනිස්සුන්ට ‘එහෙම කරපං, මෙහෙම කරපං’ කියලා තග දාලා කප්පම් ගන්න. ඒ මිනිස්සු අතේ තියෙන ඩොලර් ටික මහ බැංකුවේ අඩු රේට් එකට රුපියල්වලට මාරු කරවාගන්න.

මේ වගේ මොට්ට වැඩවලින් ලංකාවේ ආර්ථිකය ගොඩ යන්නේ නෑ. තියන තැනින් තවත් පහළට වැටෙනවා මිසක්.