කුට්ටිගේ අපහාසයට එරෙහිව සියලුම මන්ත්‍රීවරියන් එක්වෙයි! සුදර්ශනීගෙන් කතානායකට පැමිණිල්ලක්!

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයාගේ අවධානයට යොමුකර ඇත.

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අයවැය විවාදය අතරතුර දී පාර්ලිමෙන්තුවේ කතාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්නට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතා නායකවරයාට ලිපියක් යොමු කර ඇති අතර ඇය එහි සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවයි.

නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහාණිය බව පෙන්වාදී ඇත.

ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවත් ලිපියේ සදහන් කර ඇත.

මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනා ගත හැකි බවත් සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත.

එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව ඇය සදහන් කර ඇත.

කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බවත් වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කණගාටුදායක තත්වයක් බවය

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙසත් ඇය ලිපිය මගින් ඉල්ලා ඇත.