තරුණ සේවා සභාවේ කෝටි ගණනක දූෂණ-වංචා එළියට

ජාතික තරුණසේවා සභාවේ  සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක් වටිනා  දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

ජාතික තරුණ සේවා සභාව යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු පිරිවැයවූ රුපියල් කෝටි  35ක මුදල ඉක්මවා රුපියල් කෝටි අට  හමාරකට වැඩි මුදලක් වැය  කර   ඇතැයි එම පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කරනු ලැබීමට  නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර උපකරණ මිලදී  ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරකට වැඩි මුදලක්  පසුගිය   ජූලි මස  29  වැනිදා වැය කර ඇතැයි කියන සම්බන්ධයෙන්ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන්  නොවැම්බර් 16 දින දීර්ඝව ප්‍රශ්න කර ඇත.

පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  රැස්වි තිබුණි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ  යුතු බවත්  එසේ නොවුණහොත් එය රාජ්‍යයේ පැවැත්මට ප්‍රබල බාධාවක් බවත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පවසා. ඇත..

අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.

වගකීම් පැහැරහරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරින් සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් කමිටු සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්ට මෙහිදී  දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සං‍යුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ මහාචාර්ය චරිත හේරත් මහතා  ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2015 වසරේ සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සමබන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන්ද   කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය  අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් දාහතර කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්ද   ජාතික තරුණ සේවා සභාවේ උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 76 ලක්ෂයකට  වැඩි මුදලක්ද  2014 වර්ෂයේදී  ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.

තවද 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා දෙකක්  කුලි පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් එකතුව රුපියල් විසි දෙලක්ෂයකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි  කෝප්  කමිටුව පවසයි.

එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන්ට බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව  ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස් දෙදහසක  මුදලක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.

මෙම  ටී ෂර්ට් බෙදා හැර ඇත්තේ වැඩසටහන පවත්වන ලද දිනට පසුව බවද හෙළි වී ඇත.

සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ  රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් වැය කර මුද්‍රණය කළ  තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවටද මෙම කාරක සභා රැස්වීමේදී  තොරතුරු අනාවරණය විය.

ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.

ජාතික තරුණ සේවා සභාව  2018,2019 හා 2020 වර්ෂවල රුපියල් කෝටි හතළිස් එකකට වැඩි වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම මාර්ගයෙන් කරගෙන තිබූ බව කෝප් කමිටුව පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා  අංශ ප්‍රධානීන්ට  2021 වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්වවලට   ලබා දීම නොකළ යුතු බවට උපදෙස් ලබාදී තිබු බවද කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එම උපදෙස්  ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට  බාධාවක්වූ බව ඒ ආයතනවල නිලධාරිහු. කාරක  සභාවේදී පෙන්වා දී තිබුණි.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මධුර විතානගේ සහ  ප්‍රේම්නාත් සී.දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද   සහභාගී විය.