සජබ විරෝධයට බිල්ලන් මැවූ අයෙක් රිමාන්ඩ් – වාසුගේ ගෙදර ලිපිනයත් දීලා

සමගි ජනබලවේගය පක්ෂය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අයෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා නොවැම්බර් 17 දින නියෝග කර ඇත.

එම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර තිබුණි.

ජෙගනාදන් ජෝශප් පිල්ලේ නමැති එම සැකකරු පසුගිය 15 වැනිදා කුරුඳුවත්ත පොලිසිය අසලට පැමිණ තමාට ඉතා රහසිගත තොරතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ඇති බවට සඳහන් තුණ්ඩු කැබැල්ලක් ඉදිරිපත් කර එකී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පොලිසියට පැමිණිලි කොට තිබූ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට පියවර ගෙන තිබිණි.

ඔහු සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් ඔහුගේ පදිංචිය ලෙස ලබා දී ඇත්තේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවසේ ලිපිනය වන නමුත් එහි එවැනි පුද්ගලයකු පදිංචි බවට තොරතුරු අනාවරණය වී නොමැති බවත් අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීන් එම සැකකරු ස්ථිර පදිංචියක් ඇති පුද්ගලයකු නොවන බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි ද අධිකරණයට පෙන්වා දී තිබුණි.

දිවයින