පාස්පෝට් කන්තෝරුවේ අක්‍රමිකතා ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනතුරට ලක් වූ වටිනා වාහන දෙකක්  අලුත්වැඩියා කර  මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොතිබීම ගැන  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අප්‍රසාදය පළවී ඇත.

රක්ෂණ සමාගම සමඟ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ  බවත්  එම  සමාගම සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳ යම්  එකඟතාවකට දැනට පැමිණ ඇති බවත්  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී  පැවසූහ.

මේ අතර  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  නිලධාරී පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවී ඇත.

ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121 ක්,  ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ  වෙනත්  තනතුරක පුරප්පාඩු පවතින බව මෙහිදී  සඳහන් විය.

මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට යම් යම් බාධා ඇතිවන බවද  මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කර ඇති බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.මේ අනුව එම  තනතුරු ඉක්මනින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව  නිර්දේශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  ඉකුත්  ( 16 )  වැනිදා රැස්විය.

දෙපාර්තමේන්තුව 2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමග එක්ව ‍ක්‍රියාත්මක කරන “ විද්‍යුත් සංචරණ අනුමැතිය ” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කර නොමැති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එබැවින් මෙම පද්ධතිය නවීකරණය කිරීම  සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව   ‌මෙහිදී කමිටුව සාකච්ඡා කළේ‍ය.

දැනටමත් මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් ඉදිරියේදී එය සිදු කරන බවත් ආගමන  විගමන දෙපාර්තමේන්තුවේ  නිලධාරීහු පැවසූහ.


මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා  දෙන ලෙස  කෝපා කමිටුවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කළේය.

එසේම දෙපාර්තමේන්තුවේ  වෙබ් පිටුවක පෞද්ගලික දුරකතන සමාගමක නිල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිළිබඳවද  පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳවද නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින්  ඇතුලූ තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.


මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන  ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර  සහ ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මෙහොමඩ් මුසම්මිල්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

ලංකාදීප