ඓතිහාසික අවස්ථාවක්! අභියාචනාධිකරණය සමකාමී නඩුවක් අහන්න ලෑස්තියි! පොලිස්පතිට නොතීසි

ලංකාවේ විවිධ ලිංගික ප්‍රජාවන් ගැන මිත්‍යා අදහස් ප්‍රකාශ කරන අන්දමේ දේශනයකට අමා දිසානායක නම් කාන්තාවක් කැඳවීමේ සිදුවීමකට අදාල නඩුවක් විමසීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට, මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරලා.

මෙය රිට් ආඥාවක් ඉල්ලමින් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කිරීමක්. එම තීන්දුව ගෙන තිබුණේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල.

ඒ අනුව අමා දිසානායක නම් තැනැත්තිය ‘උපදේශිකාවක්’ ලෙස හඳුන්වමින් ගෙන්වාගෙන, කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව ඇය කළ කතාවලට ශ්‍රී ලංකා පොලීසිය ඉඩ ලබා දීම අධිකරණයේදී අභියෝගයට ලක් වනු ඇති. එවැනි වැඩසටහන් සංවිධානය කිරීමට ගත් තීන්දුවට එරෙහිව රිට් ආඥාවක් ලබා ගැනීමයි අරමුණ. එම උපදේශන වැඩසටහන් පැවැත්වීම තුළින් පොලීසිය සමකාමී ප්‍රජාවට එරෙහි පීඩාවන් දිරිමත් කෙරෙන බව පෙත්සම්කරුවන් තර්ක කරනවා.

මීට කලින් යම් යම් අධිකරණ කටයුතු සිදු වෙලා තිබුණත්, මේ මට්ටමෙන් සමකාමී ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ නඩුවක් අධිකරණයේ විභාගයට ගැනුණේ පළමු වතාවට. පෙත්සම ප්‍රතික්ෂේප නොකර, එය විභාගයට ගැනීමට තීන්දු කිරීමයි වැදගත්කම.

සමකාමී, විෂමකාමී, සංක්‍රාන්ති ලිංගික සහ උක්ත අනන්‍යතාවන්ට අයත් නොවන ප්‍රජාවන් ලංකාවේ නීතියෙන් පිළිගැනීමට ලක් නොවීම ඔවුන් පීඩාවට පත් කෙරෙන ප්‍රධාන තැනක්. ඔවුන්ගේ අංක එකේ අරගලයක් වන්නේ නීතියෙන් තමන්ට පිළිගැනීමක් ලබා ගැනීම.