Facebook එකේ ලිව්වා කියලා, නිකරුණේ අත්අඩංගුවට ගත් නිසා – මූලික අයිතිවාසිකම් කඩ වුණා 

කොවිඩ්  මෘත ශරීර ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුහුණුපොත මගින් විවේචනය කිරීම හේතුවෙන් තමාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත නිකරුණේ තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් චිරන්ත රන්මාල් අමරසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

අමරසිංහ මහතා. ගොනු කර තිබුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

2020 වසරේ නොවැම්බර් 17 වැනිදා සවස 5.30ට පමණ අපරාධි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පෙත්සම්කරුගේ නිවසට පැමිණ ඇති අතර එම නිලධාරීන් පෙත්සම්කරුගේ මුහුණු පොතේ (ෆේස්බුක්) පළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

පෙත්සම්කරුගේ නිවසට පැමිණි අපරාධි පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම පෙත්සම්කරුගේ මුහුණු පොතට ඇතුළු වීම සිදු කළ පරිගණක උපාංග රැගෙන පසුදින එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පෙත්සම්කරුට පවසා ඇත.

පෙත්සම්කරුට ඊට පසු දිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීම ඔහු කොවිඩ් මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කල සටහන ඉවත් කරන ලෙසට දැනුම් දී ඇත.

 පෙත්සම්කරු භක්තිමත් කතෝලිකයෙකු වශයෙන් කොවිඩ් වසංගතයෙන් මියගිය තැනැත්තන්ගේ අදාහනය කිරීම සම්බන්ධයෙන් දැඩිව විවේචනය කර තිබුණු බවත් පසුව පෙත්සම්කරු කොවිඩ් රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී අත්අඩංගුවට ගත් බවත් පෙත්සමේ සදහන් කර තිබුණි.

2020 නොවැම්බර් 18 වැනි දින පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයා හ මුවට ඉදිරිපත් කොට පසුව ඇප මත මුදා හැර තිබුණි.

මේ වසරේ ජනවාරි 23 වැනි දින පෙත්සම්කරුගේ පෞද්ගලික විද්්‍යුත් ලිපිනයට මරණීය තර්ජනය කරමින් ලිපි ලැබිණි.මේ පිළිබද පෙත්සම්කරු පොලිස්පතිට ද පැමිණිලි කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , අදාළ ක්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් සන්තකයේ තිබූ තම පරිගනක උපාංග තමාට ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කරන ලෙසද , රුපියල් කෝටියක වන්දි මුදලක් අය කර දෙන ලෙසද පෙත්සම්කාරු පෙත්සම මගින් ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉල්ලා ඇත.