පිටරටින් ආ වොලිබෝල් ජාතික ක්‍රීඩාව නෙවෙයි! දේශීයත්වය ගැන කයිය ගහන පවුලක බේබි, නාමල් ඒක නොදැන දාපු පෝස්ට් එක

වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තමන්ගේ ෆේස්බුක් පිටුවේ පෝස්ටුවක් පළ කරලා.

‘වොලිබෝල් අපගේ ජාතික ක්‍රීඩාව මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර ඇති ක්‍රීඩාවක්. වසර ගණනාවක් පුරා සම්මානයන්ට පාත්‍රවු, බොහෝ දක්ෂ ක්‍රීඩකයින්ගෙන් මෙරට වොලිබෝල් ඉතිහාසය අතිශය පොහොසත්. එම සැඟවුණු විශිෂ්ටයින් අමරණීය කිරීම වෙනුවෙන් ‘Volleyball Legends – Ceylon to Sri Lanka ‘ කෘතිය රචනා කළ සුසිල් රණසිංහ මහතාටත් වොලිබෝල් සම්මේලනයටත් මා ස්තුතිවන්ත වනවා.’ යනුවෙන් ඔහු 17 වැනිදා පෝස්ටුවක් පළ කරලා තිබුණා.

ලංකාවේ විශාල පිරිසක් වොලිබෝල් ජාතික ක්‍රීඩාව බව නොදැන කීවත්, වොලිබෝල් ලංකාවේ ජාතික ක්‍රීඩාව නෙවෙයි. ඒක ජනප්‍රිය මිත්‍යා විශ්වාසයක් පමණයි. විවිධ වෙළඳ ආයතන වොලිබෝල් තරගාවලි ප්‍රචාරය කරද්දී ‘වොලිබෝල් ජාතික ක්‍රීඩාවයි’ යනුවෙන් යළි යළිත් කියා, ගොබෙල්ස් න්‍යායෙන් එය ජාතික ක්‍රීඩාව කර තිබෙනවා.

මීට කලින් 2017 පෙබරවාරි මස 01 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ කීවා, තමන් වොලිබෝල් ජාතික ක්‍රීඩාව ලෙස පිළි නොගන්නා බව.

ඇමෙරිකානුවෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්‍රීඩාවක් වන වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවත් නොවන නිසා ඒක ජාතික ක්‍රීඩාව ලෙස පිළිගැනීමට විශේෂ පදනමකුත් නෑ. 1991 කාලයේ කමිටුවකින් දාපු නිර්දේශයක් හැරුණාම ඒක පිළි ගැනීමට නිල ගැසට් නිවේදනයක් හෝ වෙනත් කිසිවක් නෑ.

ඒ කමිටු නිර්දේශයට එදා පදනම වී තිබුණේ ලංකාවේ ‘ජාතික ක්‍රීඩාව’ කියා ප්‍රවර්ධනය කරන්න පුළුවන්, පුංචි ඉඩක වුණත් එකතු වී සෙල්ලම් කළ හැකි, මේ රටේ තරුණු තරුණියන්ගේ ශාරීරික සුවතාවට සුදුසු ක්‍රීඩාවක් ආදී පදනම් ටිකක්. ඒත්, ඒක ‘ජාතික ක්‍රීඩාවක්’ නම් කරන්නට උචිත පදනම් නෙවෙයි.

විශේෂයෙන් මෙරට සැබෑ ක්‍රීඩා විශේෂඥයන් පෙන්වන්නේ ‘එල්ලේ’ වැනි අපේ රටට ආවේණික ක්‍රීඩා තිබියදී, කබඩි වැනි ඉන්දීය සහ ලංකාවේ ආවේණික ක්‍රීඩා තිබියදී, තව නොයෙකුත් දේශජ ක්‍රීඩා තිබියදී වොලිබෝල් ජාතික ක්‍රීඩාව කිරීම සුදුසුද යන්න. අනෙක් අතින් පුංචි ඉඩක ලෙහෙසියෙන් එකතු වී ලාංකිකයන් කරන ක්‍රීඩාව වන්නේ ක්‍රිකට්. ජනප්‍රියම ක්‍රීඩාවත් ක්‍රිකට්. එසේ නම් එය ජාතික ක්‍රීඩාව නොවන්නේ ඇයි? නැත්නම් වොලිබෝල් වාගේ දැලකුත් අවශ්‍ය නැතිව කළ හැකි පාපන්දු වගේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කොට, එය ජාතික ක්‍රීඩාව බවට පත් නොකරන්නේ ඇයි?