විඥානයක් නැති ආණ්ඩුව…

සමගි ජනබවේගය ආණ්ඩුවට එරෙහිව කොළඹ හයිඞ් පිටියේ පැවැත් වූ විරෝධය ගැන මේ වනවිට විවිධ මත පලවෙමින් තිබේ. නීතිය, සෞඛ්‍ය, යුක්තිය, නිදහස ආදී විවිධ පැතිමානයන්ගෙන් ලංකාවේ සමාජය තේරුම්ගැනීම සඳහා මේ විවාදය වැදගත්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොවිඞ් නමැති වසංගතය ආණ්ඩුකරණය සඳහා භාවිත කරන ආකාරය තේරුම්ගැනීම සඳහා ද මේ සිදුවීම් අපට භාවිත කළ හැකිය.

උද්ඝෝෂණය විරෝධය යනු භාෂණයේ ප්‍රකාශනයේ අයිතියේම කොටසකි. ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතියේම කොටසකි. දැන් බලයේ සිටිනේනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති පක්ෂය මුල් කරගත් ආණ්ඩුවයි. ආණ්ඩුවට බලය පැවරුවෝ මහජනයාය. ඒ නිශ්චිත වසර පහක කාලයකටය. ඒ කාලයේදී ආණ්ඩුව බලය අයථා ලෙස භාවිත කරන්නේ නම් තම මහජන වරමට සාධාරණයක් ඉටු නොවන්නේ නම් තමන්ගේ නියෝජිතයාට එරෙහිව කතා කරන්නට විරෝධය දක්වන්නට මහජනයාට අයිතියක් ඇත.

ඒ මහජනයා ඒ විරෝධයේදී විවිධ අයුරින් කඳවුරු බැදගෙන ක්‍රියා කරන්නට ඉඩ තිබේ. ඇතැම් විට ඒ සිවිල් සමාජ කණ්ඩායමක් හැඩයක් ගත හැකිය. නැතිනම් දේශපාලන පක්ෂයක් දේශපාලන බලවේගයක් වටා රොක් විය හැකිය. ඊයේ(16) කොළඹදී සිදුවූයේ එයයි. ආණ්ඩුව ඒ දේශපාලන අයිතිය ගැන දැන් අදහස් පළකිරීමට යන්නේ නැවතත් මේ වසර දෙක පුරාවටම ආවරණය සොයාගත් වසංගතයෙනි. එහෙත් රාජ්‍යයේ ත්‍රිවිධ ආයතනවලින් එකක් වූ අධිකරණයෙන් විධායකයට අවශ්‍ය තරම් සහායක් ලැබුණේ නැත. බොරැල්ල, කුරුඳුවත්ත, කොටහේන හා පෑලියගොඩ ඇතු`ඵ පොලිස් වසම් බහුතරයක් මේ විරෝධතා පා ගමන මර්දනයට කළ ඉල්ලීම් අධිකරණවලින් ප්‍රතික්ෂේප කිරීම ඊට හොඳම නිදසුනයි.

 දිවයින පුවත්පත වාර්තා කරන පරිදි විරෝධයට මහජනයා රැගෙන පැමිණි බස් රථ හරවායැවීම සඳහාම පොලිසියෙන් මාර්ග බාධක 500ක් දිවයින පුරා යොදා තිබී ඇත. පොලිසිය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ත්‍රිවිධ රාජ්‍ය ආයතනවලින් විධායකය නියෝජනය කරන ආයතනයකි. එසේ බලද්දී මේ මහජන නැගිටීමට එරෙහිව ආණ්ඩුව යොදා ඇති විධායක බලය සු`ඵපටු නැත. එහෙත් යථාර්ථය නම් මු`ඵ ලොවටම පෙනෙන පරිදි ආණ්ඩුව ඊයේ දිනයේදී නිරුවත් වූ බවය. දැන් ආණ්ඩුව කරන්නට හදන්නේ ඊට වඩා හපන් වැඩකි.

මහජන ආරක්ෂාව බාර ඇමැති සරත් වීරසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසුවේ විපක්ෂය කොවිඞ් සමග එක් වී ආණ්ඩුව පෙරලන්නට උත්සාහ කරන බවයි. සැබැවින්ම එය ඇමැති වීරසේකරගේ අමුතු සොයාගැනීමක්ද? නැත. මේ දින කීපය පුරාම අයවැයෙන් පසුව අදහස් දැක් වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම කරන්නට බැරි නම් ආණ්ඩුව දෙන්නැයි කියනු මාධ්‍යයෙන් දැක ගන්නට හැක විය. ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුවට බාර දුන් වැඬේ කරගන්න බැරි වීමේය. ආණ්ඩු කරන්නට බැරි නම් ඒවා පෙරලාදැමීම ද මහජනයාට අයිති වැඩකි. 2014 දී මහින්ද රාජපක්ෂ මහතා තම නිල බලයෙන් වසරකටත් පෙර වළ කපාගත්තේ තමාගේම කැමැත්තෙන් බව සරත් වීරසේකර මහතාට දැන් මතක නැතුව ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පශ්චාත් විරෝධතා අත්දැකීම විසින් ප්‍රදර්ශනය කරනු ලැබෙමින් තිබෙන්නේ නම් තවත් අවුලකි. සෞඛ්‍ය නීති කඩා පෙළපාලි උද්ඝෝෂණ ගිය නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කළ ප්‍රකාශය ඊට නිදසුන්ය. නිරෝධායන නීතිය විහි`ඵවක් වුණේ අද ඊයේ නොවේ. ඊට තැබූ ආරම්භක වෙඩි මුරය තොණ්ඩමාන් ඇමැතිවරයාගේ දේහය වීදි සංචාර කිරීම දක්වා ඈතට දිව යයි. එහෙත් එදා මෙදා තුර මේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ තෝරාබේරාගෙන පරෙස්සමටය. හිරු සළකුණට පැමිණි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට චමුදිත සමරවික්‍රමලාගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වී පොලිසියේ යථාව මේ යැයි කියන්නට සිදුවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දැන් විරෝධයට පැමිණි නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයි කියන විට අපට සිහියට එන්නේ ඒ මොන නීතියද කියාය. එය ඥාණසාර හිමියන්ගේ නීතිය යැයි කීව ද මහජනයා සිනාසෙනු ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය නීතිය යැයි කීව ද මහජනයා සිනාසෙනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රූපවාහිනියට ගණන් හිලව් කියමින් දක්වන නීතිය යැයි කීව ද මහජනයා සිනාසෙනු ඇත. සැබැවින්ම උදේ ජය පිරිතෙන් අවදිව රෑ මංගල පිරිතෙන් නින්දට යන මේ සිංහල බෞද්ධ ආණ්ඩුවට ඡන්දය දුන් අතිබහුතරයක් ජනයා දැන් ජීවත්වන්නේ මරණානුස්සතියෙනි. ඊට හේතුව මේ මහජන විරෝධතා නිසා හටගත් බියක් නොව සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුව විසින් ජාතක කරනු ලැබූ තුන් බියයි. ආණ්ඩුව එය වටහා නොගෙන තවදුරටත් කොවිඞ් වසංගතයට මුවා වීම සම කළ හැක්කේ පතුල නැති බේසමකින් රහසඟ සඟවාගත් මිනිසාටය. අවාසනාවට මේ සා වළකට වැටීත් ආණ්ඩුවට තවමත් මොළේ පහළව නැත. 

ධාරා වික්‍රමසිංහ