සති දෙකක මාර්ගෝපදේශ මැද පාසල් ද විවෘත කිරීමේ අභියෝගය..

ධාරා වික්‍රමසිංහ  

රජයේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සඳුදා (22) සිට සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන පරිදි රජයේ සහ රජයේ අනුමත පාසල්වල 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා ඒ අනුව ආරම්භ කෙරේ.

මෙසේ ලබන සඳුදා සිට පාසල්වල සියලුම ශ්‍රේණි ක්‍රියාත්මක වුවත් ඊට අදාළව තීන්දු ගැනීමේ ප්‍රධාන කාර්යභාරයක් පැවරෙන්නේ පාසල්වල විදුහල්පතිවරුන්ට බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. 

ලේකම්වරයා පවසන්නේ දුරස්ථභාවය හා සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා දී ඇති බවයි. 

ඒ අනුව අදියර හතරක් යටතේ පාසැල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි මුලදී ආරම්භ කළ අතර දෙවන අදියර යටතේ සෙසු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ද තෙවන අදියර යටතේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති ද සිව්වැනි අදියර යටතේ 6,7,8,9 ශ්‍රේණි ද ආරම්භ කෙරිණි. 

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල සිසුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව 10,11,12,13 යන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්විය හැකිය.

එසේ වුවත් උපකාරක පන්තියක සිටිය යුත්තේ ආසන ධාරිතාවෙන් සියයට 50ක ප්‍රමාණයක් වන අතර උපකාරක පන්තිවල සෑමවිටම සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ නොවැම්බර් 30 වැනිදා තෙක් සෞඛ්‍ය නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කළ පසුබිමේය.

ශාලාවල උත්සව පවත්වන විට එහි ධාරිතාවෙන් තුනෙන් එකක් නැතහොත් උපරිමය සියයක්, ශාලාවල රැස්වීම් පවත්වන්නේ නම් එහි ධාරිතාවෙන් තුනෙන් එකක් නැතහොත් උපරිමය එකසිය පනහක්, නිවෙස්වල සාදයක් උපරිම 10ක්, එළිමහන් සාදයක් නම් සීමාවක් නැත ආදී වශයෙන් මේ මාර්ගෝපදේශ අන්තර්ගතය. ප්‍රශ්නය වන්නේ මේ මාර්ගෝපදේශ කොයිතරම් දුරට සාමාන්‍ය ජනතාවට සන්නිවේදනය වන්නේද හා ඒවාට ජන සමාජයේ අවනතභාවය ලබාගැනීමට කොයිතරම් දුරට හැකිද යන්නයි.

කොවිඞ් වසංගතය මැඩලීමේදී ආණ්ඩුව මුහුණ දෙන එක් අභියෝගයක් වී ඇත්තේ මෙම මාර්ගෝපදේශ සඳහා මහජන අවනතභාවය ලබාගැනීමයි. ඊට හේතු වී තිබෙන්නේ දේශපාලන අධිකාරින් පසුගිය කාලය පුරාම කොවිඞ් මාර්ගෝපදේශ සිය දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් අපහරණය කිරීමයි. නිදසුනකට ගතහොත් එළිමහන් රැස්වීම් ආදිය ගැන දැන් ගණන් හිලව් දක්වන ආණ්ඩුව පාලක පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත්වූයේ නොබෝදාය. එවැනි උත්සවයකදී නිර්මාණය වන අවදානම්සහගතභාවය ගැන මහජනයා කරන ප්‍රශ්න කිරීමකට පාලක පක්ෂයට දිය හැකි පිළිතුර කුමක්ද? අප මේ ප්‍රශ්නය අසන්නේ ලබන 22 වැනිදා සිට පාසල් ද විවෘත කිරීමට ආණ්ඩුව සංයුක්ත පියවරක් ගෙන ඇත්නම් ඒවාට අදාළව රාජ්‍ය සංස්ථා පැත්තෙන් විශාල වැඩපිළිවෙලක් අවශ්‍ය බැවිනි.