ඔබට කිසිවක් බෑ! බොරු රංගනයන් නැතිව අස්වෙන්න! වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට තද ලියුමක්

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන කිසිවක් කළ නොහැකි අකාර්යක්ෂම පුද්ගලයෙකු බවත්, ව්‍යාජ රංගනයන් නැතිව ඔහු තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවත් ප්‍රකශ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඔහු වෙත ලිපියක් යවා ඇත.

එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ අත්සනින් යුත් එම ලිපියේ මෙසේ සඳහන්ය.

‘ඔබ විසින් මීට මසකට ආසන්නව තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණ බවට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දෙන ලදී. රාජ්‍ය සේවයේ එවැනි ඉල්ලා අස් වීමක් කිරීමට තරම් ඔබට හට වෙනත් වෘත්තියක් පැහැදිලිවම නොමැති බව දන්නා අප එසැනින්ම ඔබ කරන්නේ බොරුවක් බව මාධ්‍ය මගින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම ඔබ පසුගිය වසර දෙක පුරා රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් වංචාව සහ දූෂණවලට නායකත්වය දුන් කෙනෙක් ද බව පෙන්වා දෙමු. අකාර්යක්ෂමතාව නම් බූවල්ලා මුළු රාජ්‍ය ඖෂධ සංස්ථාව ගිල ගනිමින් රටේ ඖෂධ ආශ්‍රයෙන් රැකියා ඍජු සහ වක්‍ර 25,000ක් පමණ උත්පාදනය වී ඇත. ඔබගේ අකාර්යක්ෂමතාවය නිසා තීන්දු තීරණ නොමැතිව ලිපි ගොනු රාශියක් අයාලේ ගොස් ඇත. සමස්ථයක් වශයෙන් දේශීයව ඖෂධ කර්මාන්තයේ නියලෙන්නන් විශාල ප්‍රමාණයකට රැකියාව අහිමි වී ගොස් ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලි ආරම්භ කොට නිකරුණේ ලිපි ගොනු තීන්දු තීරණ ගැනීමට ක්‍රියාත්මක නොවීමද අද විලාසිතාවක් බවට පත් වී ඇත. ඔබ මේ තනතුර දරණ කාල වකවානුවේ දී බෙහෙත් මිල අහස උසට නැගී මහජනතාව ඉතා අසීරුතාවයට පත් වී ඇත. බෙහෙත් වල පහළ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම වෙනමම මාතෘකාවකි.

ඔබ මේ තනතුර ලබා ගෙන ඇත්තේ තනතුරට සුදුසුකම් ලබා ඇති නිසා නොව දේශපාලනයට කඩේ යෑම ඔබට ඇති එකම සුදුසුමයි. එහෙත් ඔබට ඇති සුදුසුකම් අනුව මහිලා සමිතියකට හෝ සභාපතිකමක් දැරිය නොහැක. මක් නිසාද ඔබ ඉගෙනගෙන ඇති එකම ක්ෂේත්‍රය චීන ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය තුළද ඔබගේ නාමය කීර්තියක් නොඋසුලන බැවිනි.

එම නිසා අප සංසදය ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුයේ ඉල්ලා අස් වීම ළමා රංගනයක් නොකොට වහා තනතුර භාර දී සුදුසුසෙකුට තනතුර පැවරීමට අතිගරු ජනාධිපතිතුමන් වෙත සහාය දක්වන ලෙසටයි.’