සිරකුටියේ සිදු වූ මරණය ගැන ආන්දෝලනයක් – විරෝධතාවට පැමිණි අයෙක් බවට සමගි බලවේගයෙන් ප්‍රකාශයක්(Update)

නොවැම්බර් 16 දින පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට සහභාගී වීමට පැමිණි අයෙකු පොලිස් පහරදීමකින් මිය ගොස් ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද අද අයවැය විවාදයේ දී සිය කතාව ආරම්භ කළේ මියගිය පුද්ගලයාට ශෝකය පළ කරමිනුයි.

මෙලෙස මියගිය බව කියන පුද්ගලයා පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව අමතමින් කරුණු පැහැදිලි කර තිබුණි.

‘ සමගි ජනබලවේගයේ විරෝධතාවට පැමිණි කෙනෙක් කියන එක අමුලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න. ඔහුගේ වයස අවුරුදු 37ක්. මොහු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වුණ කෙනෙක්. ඔහු නිතරම බිරිදට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිදගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිලා තියෙනවා.. 2021.11.12 වන දින ඔහුගේ දුව පොලිස් පැමිණිල්ලක් කරලා තියෙනවා මේ පුද්ගලයාට විරුද්දව. තමන්ට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා තමන්ට බරපතල තුවාල සිද්ධ කළා කියලා..ඇය රෝහල් ගත වෙලා තියෙනවා. එදා ඉදන් මේ පුද්ගලයාව පොලිසියෙන් හොයනවා. ඒත් මොහු. හැංගෙනවා. ඊට පස්සේ පොලිසිය මොහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රාත්‍රි 10.30 ට. ඒ කියන්නේ මේ පුද්ගලයා පෙලපාලියට කිසිම සම්බන්ධයක් නැහැ… පොලිසිය හොය හොය හිටපු කෙනාව පාන්දර අත්අඩංගුවට ගත්තාට පස්සේ.. පාන්දර 3.30 ට විතර ඔහු. තමාගේ ෂර්ට් එකේ… කමිසයෙන් කූඩුවේ තියන කම්බියක ගැට ගහලා බෙල්ලේ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි…රාළහාමි දැකලා ඔහු ව. වහාම රෝහලට ගෙනි යන්න හදනකොට… ඒ ගෙනියන අතරතුර මිය ගිහින් තියෙන්නේ.. මේකට පෙළපාලියටවත්.. උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නැහැ.. පොලිසියට කරන මේ චෝදනාව අමුලික බොරුවක් කියලා .. මම ඔබතුමාට මේ අවස්ථාවේ කියා. සිටිනවා..’

සැකකරුගේ මරණය සැකයට – දෙන්නෙක්ගේ වැඩ තහනම් (Update)

පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු නොවැම්බර් 17 පෙරවරුවේ මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් පනාමුර පොලිස් ස්ථානයේ  නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

ස්වර්ණවාහිනි වෙත අදහස් දක්වමින් ඇබිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවය.

බිරිඳගේ පැමිණිල්ලට ගෙනා සැමියා සිර කුටියේ මරුට – ගම්මු පොලිසිය ඉදිරිපිට විරෝධය

පනාමුර පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු නොවැම්බර් 17 වන දින පෙරවරුවේ මියගොස් ඇත.

තමන්ට හා දියණියට පහර දෙන බව පවසා මියගිය අයගේ බිරිඳ පොලීසියට කළ දැනුම් දීමකට අනුව නොවැම්බර් 16 දින රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිට ඇති අතර පසුව ගෙල වැළලාගෙන ඇති බව පොලිසිය පවසා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපොත යාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් අයෙකි.

මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව පවසමින් දහසකට අධික පිරිසක් මේ වනවිට පොලිසිය අසළට රැස්ව විරෝධය දක්වමින් ඇත.