ආණ්ඩුවේ රෙදි නෑ! විපක්ෂයේ උද්ඝෝෂණය නවත්වන තුප්පහි ගේම් වීඩියෝවලින් එළියට එයි

සමගි ජන බලවේගය පැවැත්වීමට සූදානම් වී සිටින ජන බලවේගය කොළඹට නම් උද්ඝෝෂණය නැවැත්වීමට රට පුරා පොලිස් බාධක යොදා, කිසිම නීතිමය පදනමක් නැතිව ඒ උද්ඝෝෂකයන් හරවා යැවීමට ගන්නා උත්සාහය ෆේස්බුක් වීඩියෝ ගණනාවකින් එළියට ඇවිත්.

මේ වෙද්දී සැරිසරන ප්‍රධාන වීඩියෝ කිහිපයක් මෙහෙමයි.

වැලිගම නගරාධිපති රොහාන් ඩී ජයවික්‍රම ඇතුළු පිරිසක් කොළඹ බලා ගමන් කරමින් සිටියදී නවත්වන ලදුව, ඔහු එතැන සිටි ඉහළ පොලිස් නිලධාරීන්ට දැඩි විවේචන එල්ල කරන අයුරු එක් වීඩියෝවක දැක් වුණා. ඔහු පොලිස් නිලධාරීන්ට දැඩිව කියා තිබුණේ නීතියට පිටින් තමන්ව නතර කළොත්, අනිවාර්යයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන බව.

සමගි ජන බලවේගය පවත්වනු ලබන ‘ජන බලවේගය කොළඹට’ නම් උද්ඝෝෂණ රැළියට සහභාගී වීම සඳහා අම්පාර ප්‍රදේශයේ සිට පැමිණෙන බස් රියක් වඩිනාගල ප්‍රදේශයේ නවත්වන අයුරු වෙනත් වීඩියෝවක තිබුණා.

තවත් වීඩියෝවක තිබුණේ අම්පාරේ සිට පැමිණි බස් රියක් මහ ඔය ප්‍රදේශයේදී නැවැත්වීමට එරෙහිව පාරේ දිගා වී ජනතාව උද්ඝෝෂණය කරන අයුරු.

මීට අමතරව නොච්චියාගම, හල්දුම්මුල්ල ඇතුළු ප්‍රදේශවලද පොලීසියෙන් කොළඹ එන අයව නවත්වන අයුරු දැක්වුණා.

මෙය එක් විදියකට අධිකරණ තීන්දුවක්ද නොතකා හැරීමක්. කොළඹ ප්‍රදේශ කිහිපයකම පවත්වන මෙම උද්ඝෝෂණවලට එරෙහිව පොලීසියෙන් අධිකරණ නියෝග ගන්න උත්සාහ කළත්, ඒ උත්සාහයන්ට එරෙහිවයි අධිකරණ තීන්දු ලැබුණේ.